වයස 18ට අඩුනම් ඉන්ස්ටර්ග්‍රෑම් එකේ 13+ තමයි

ඉන්ස්ටර්ග්‍රෑම් (Instagram) සමාජ ජාලයේ සැරිසරන වයස අවුරුදු 18ට අඩු සියලුම ගිණුම් ස්වයංක්‍රීයව ’13+’ වර්ගීකරණය යටතට පත්කිරීමට ‘Meta’ ආයතනය පියවර ගෙන තිබෙනවා.

නව ආරක්ෂක ප්‍රතිපත්තියක් හඳුන්වා දෙමින් ඉන්ස්ටර්ග්‍රෑම් මෙම පියවර ගෙන ඇත්තේ පරිශීලකයින් ආරක්ෂා කිරීමේ අරමුණින්.

මෙම නව ආරක්ෂක ක්‍රමවේද මේ වසර අවසානය වන විට ලොව පුරා සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමටයි Meta බලාපොරොත්තු වන්නේ.

නව නීතිය යටතේ දෙමව්පියන්ගේ අවසරයකින් තොරව එම සීමාවන් ඉවත් කිරීමට හැකියාවක් නැහැ.

මෙම නව සීමාවන් මගින් නව යොවුන් වියේ දරුවන්ට අසභ්‍ය වචන, වෛරී සහගත ප්‍රකාශ ආදිය, අවදානම් සහිත ක්‍රියා හෝ මත්ද්‍රව්‍ය වැනි අහිතකර විය හැකි අන්තර්ගතයන් නිර්දේශ කිරීම හෝ පෙන්වීම සීමා කෙරෙන බවයි වාර්තාවන්නේ.

මෑතකදී Reuters වාර්තාවක් මගින් මේටා හි කෘත්‍රිම බුද්ධි චැට්බොට් (AI Chatbots) නව යොවුන් වියේ දරුවන් සමඟ අනිසි සංවාදවල නිරත වීමට ඉඩ සලසා දී ඇති බවට චෝදනා එල්ල වී තිබුණා.

මෙම තීරණයට එළැඹීමට සිදුවී ඇත්තේ එම කරුණ මත බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

මෙම සීමාවන් යටතේ දරුවන්ට ‘මත්පැන්’ හෝ ‘රුධිරය’ වැනි වැඩිහිටියන්ට සුදුසු සෙවුම් පද සඳහා ප්‍රතිඵල දැකීමට ඇති හැකියාව අවහිර කරනවා.

තවද, වයසට නුසුදුසු අන්තර්ගතයන් නිතර පළ කරන ගිණුම් Follow කිරීම සහ එම ගිණුම් සමඟ පණිවිඩ හුවමාරුව වැනි අන්තර්ක්‍රියාද දරුවන්ට අවහිර කෙරෙන බවයි වාර්තාවනවා.

දෙමව්පියන්ට තවදුරටත් දැඩි පාලනයක් අවශ්‍ය නම්, “සීමිත අන්තර්ගතය” (Limited Content) නමින් නව, සීමාසහිත සැකසුමක් ද හඳුන්වා දී ඇති බව ද සඳහන්.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *