වරාය ලොක්කෙක් බිමල්ට විරුද්ධව නඩු මඟට

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂ ධුරයෙන් තමන්ව ඉවත් කිරීමට විෂයභාර අමාත්‍යවරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ප්‍රභාත් මලවිගේ මහතා ඉදිරිපත් කළ රීට් පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අවසර ලබා දී ඇත.

ඒ අනුව අඳාළ ඉවත් කිරීමේ නියෝගය බල රහිත කරන මෙන් ඉල්ලා ගොනුකළ මෙම පෙත්සම සලකා බැලූ අධිකරණය, එහි වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කිරීමට ද පියවර ගෙන ඇත. මෙහිදී කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මඟින් වරාය අධිකාරිය වෙත යෝජනා දෙකක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව නියම වී ඇත්තේ ප්‍රභාත් මලවිගේ මහතා මීට පෙර දැරූ “අතිරේක කළමනාකාර අධ්‍යක්ෂ (මෙහෙයුම්)” තනතුරෙහි වර්තමානයේ පුරප්පාඩුවක් පවතින්නේද යන්න විමසා බලා, එහි ඔහු යළි පිහිටුවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් අධිකරණයට දන්වන ලෙසයි.

එමෙන්ම මෙම නඩු විභාගය අවසන් වන තෙක්, දැනට කළමනාකාර අධ්‍යක්ෂ ධුරයේ සිටින ගනක හේමචන්ද්‍ර මහතා ඔහුගේ පෙර තනතුරේම රඳවා තබා, කළමනාකාර අධ්‍යක්ෂ ධුරය සඳහා වැඩබලන නිලධාරියෙකු පත් කිරීම කෙරෙහි අමාත්‍යවරයාගේ එකඟතාව විමසන ලෙස ද දැනුම් දී ඇත.

ඒ අතර අතිරේක සොලිසිටර් ජනරාල් වෙත උපදෙස් දෙමින් විනිසුරු මඩුල්ල, වරාය අධිකාරියේ උපදෙස් ලබාගෙන මෙම යෝජනා සම්බන්ධයෙන් වන ස්ථාවරය එළඹෙන ජනවාරි මස 13 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අවධාරණය කර සිටියා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *