අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් වැඩතහනමට ලක්වූ විනිසුරුවරුන් සඳහා අඩ වැටුප් ගෙවීමේදී හිමි දීමනා කිහිපයක් නොගෙවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
විවිධ චෝදනාවලට ලක්වූ විනිසුරුවරුන්ගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිසම පසුගියදා පියවර ගෙන තිබූ අතර, ඒ අනුව ඔවුන්ට අඩ වැටුප් ගෙවීමක් සිදුකිරීමට තීරණය විය.
මෙම අඩ වැටුප් සමග ගෙවිය යුතු දීමනා සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතිකා ඒකාබද්ධතා අමාත්‍යාංශයේ විගණන හා කළමනාකරණ කමිටු රැස්වීමේදී සාකච්ඡා කර තිබේ.
එම කමිටුව විසින් තීරණය කර ඇත්තේ, වැඩතහනමට ලක්වූ විනිසුරුවරුන් සඳහා අඩ වැටුප් ගෙවීමේදී පහත සඳහන් දීමනා පමණක් අදාළ කරගත යුතු බවයි:
වෘත්තීය දීමනා
පුද්ගලික දීමනා
ජීවන වියදම් දීමනා
භාෂා දීමනා
ඒ අනුව, කමිටුවේ තීරණය පරිදි නොගෙවිය යුතු දීමනා ලෙස පහත ඒවා නම් කර ඇත:
දුරකථන දීමනා
වාහන දීමනා
රියදුරු දීමනා
පොත් දීමනා
ගෙවල් කුලී දීමනා
අභියාචනා දීමනාව
ඉන්ධන දීමනාව
අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස් විසින් මෙම තීරණයට අනුව අදාළ චක්‍රලේඛය සියලු මහාධිකරණ විනිශ්චයකාරවරුන් වෙත නිකුත් කර ඇති බව වාර්තා වේ



