පශ්චාත් ආපදා තත්ත්වයක් පවතින මෙවන් මොහොතක, රටේ ඉහළම මූල්‍ය විමර්ශන නිලධාරියා වන විගණකාධිපතිවරයෙකු නොමැති වීම දැඩි අවදානම් සහගත බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.
මේ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කරමින් ඔහු අවධාරණය කරන්නේ, රජය විසින් පිහිටුවා ඇති ‘නැවත ශ්‍රී ලංකාව ගොඩනැගීමේ අරමුදල’ (Rebuilding Sri Lanka Fund) විගණනය කිරීමේ නිසි යාන්ත්‍රණයක් නොමැති වීම බරපතල ගැටලුවක් බවයි.
අරමුදලට ලැබෙන සහ වැය කරන මුදල් සම්බන්ධයෙන් වගකීම දැරීමට සහ ඒවා විගණනය කිරීමට ස්වාධීන විගණකාධිපතිවරයෙකු සිටීම අත්‍යවශ්‍ය බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තිය අනුව රජයේ මුදල් පාලනය කිරීමේ බලය පාර්ලිමේන්තුවට හිමිවන බැවින් මෙම අරමුදල පාර්ලිමේන්තුව හරහා නීතිගත කිරීම අනිවාර්ය බවද ප්‍රකාශ කරයි.
පසුගිය දෙසැම්බර් 6 වැනිදා වැඩබලන විගණකාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වීමෙන් පසු එම තනතුර පුරප්පාඩුව පවතින බවත්, තම ලිපිය ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බව ජනාධිපති ලේකම්වරයා තහවුරු කළද අද වනතුරුත් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් හර්ෂ ද සිල්වා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.
විගණකාධිපති ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් යෝජනා කරන ලද නම් කිහිපයක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මේ වන විට ස්ථිර නිලධාරියෙකු පත්කිරීමේ අර්බුදයක් මතුව තිබේ.
ආපදා තත්ත්වයන් හමුවේ මහජන මුදල් අවභාවිත වීම වැළැක්වීමට නම්, වහාම මෙම තනතුර සඳහා සුදුස්සෙකු පත් කරන ලෙස මුදල් පිළිබඳ කාරක සභාවේ සියලු සාමාජිකයන් වෙනුවෙන් ඔහු ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.



