විදුලි බිල තවත් 50%කින් වැඩි වෙයි..?

ජනතාව මත දැවැන්ත ආර්ථික බරක් පටවමින් විදුලි බිල තවත් 50%ක පමණ ප්‍රමාණයකින් ඉහළ නැංවීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට රජයේ පාර්ශවයෙන් දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය අනාවරණය කරයි.

එහි ලේකම් සංජීව ධම්මික මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, මෙම හදිසි මිල වැඩිකිරීම පිටුපස දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවයි.

මිල ඉහළ නැංවීම සාධාරණීකරණය කිරීම සඳහා රජය විවිධ කරුණු ඉදිරිපත් කරමින් සිටින බව පෙන්වා දුන් ලේකම්වරයා, ලෝකයේ පවතින යුද වාතාවරණය සහ මෙරට පවතින නියඟය වැනි ස්වභාවික හේතු මේ සඳහා පලිහක් කරගෙන ඇති බව පවසයි.

“ලෝකේ කොහේ හරි යුද්ධයක් තිබ්බ පළියට, ලංකාවේ නියඟයක් ආව පළියට හැමදාම විදුලි බිල වැඩි කරලා ජනතාව හූරාගෙන කන්න දෙන්න බැහැ. මේක සැලසුම්සහගතව කරන වැඩක්,” යැයි ද ඔහු අවධාරණය කළේය.

වත්මන් විදුලි අර්බුදය හමුවේ වගකීමෙන් බැහැරව කටයුතු කරන සහ ජනතාව පීඩාවට පත් කරන අදාළ අමාත්‍යවරුන් පිළිබඳව ජනාධිපතිවරයා වහාම තීරණයක් ගත යුතු බව ඒ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

“තමන්ගේ විෂය පථය හරියට කරගන්න බැරි, හැම තිස්සෙම බිල වැඩි කරලා ජනතාව මරන්න හදන ඇමතිවරුන්ව වහාම ධුරවලින් ඉවත් කරන්න කියලා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා,” යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මෙම මිල වැඩිකිරීමේ කුමන්ත්‍රණයට එරෙහිව ඉදිරියේදී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සහ මහජන විරෝධතා සංවිධානය කරන බව ද විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය අනතුරු අඟවයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *