“විරෝධාර රණවිරුවන්ට ‘රණවිරුවෝ’ කියන්න මේ ආණ්ඩුව බයයි කොන්දක් නෑ..”

තමන්ගේ දෙවියා ප්‍රභාකරන් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන අතරම, ශ්‍රී ලංකා හමුදාවේ පිරිසට “විරෝධාර රණවිරුවන්” ලෙස ඇමතීමට තමන්ට ශක්තිමත් කොන්දක් ඇති බව යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුන රාමනාදන් පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුවේ පිරිසට රණවිරුවන් යන නාමය භාවිතා කිරීමට බියක් පැවතියද තමන්ට එවැනි ගැටලුවක් නොමැති බව මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය.

“මම ප්‍රභාකරන් මගේ දෙවියො කියලා කියනවා තමයි, ඒක නතර වෙලා නෑ. ඒත් ඒකෙන් අදහස් වෙන්නේ නෑ මම හමුදාවට රණවිරුවෝ කියන්න බයයි කියලා. රණවිරුවෝ කියලා කියන්න මට ලැජ්ජාවක් නෑ,” යැයි ඔහු පැවසීය.

පසුගිය කාලයේ මෙරට ජාතීන් දෙකක් අතර ගැටුමක් පැවති බව පිළිගන්නා මන්ත්‍රීවරයා, දෙමළ හෝ සිංහල භේදයකින් තොරව මිනිස් ජීවිත බේරාගැනීමට කැපවන ඕනෑම අයෙකු දෙවිවරුන් හා සමාන බව පෙන්වා දුන්නේය.

මෑතකදී මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන් මුණගැසී පිරිත් නූල් බැඳගැනීම සම්බන්ධයෙන් එල්ල වූ විවේචනවලට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ තමන් සිංහල ජනතාවට, සංස්කෘතියට හෝ බුද්ධාගමට කිසිසේත් විරුද්ධ නොමැති බවයි.

තමන්ට පවතින විවේචනය දෙමළ ජනතාව මර්දනය කරන ආණ්ඩුව පිළිබඳව මිස සිංහල ජනතාව පිළිබඳව නොවන බවත්, තමන්ට උදව් කරන සහ සහයෝගය දක්වන පිරිස් ප්‍රසිද්ධියේ අගය කිරීමට තමන් පසුබට නොවන බවත් අර්චුන රාමනාදන් මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *