ඕනෑම පුද්ගලයෙකු අත්අඩංගුවට ගත යුත්තේ ප්‍රමාණවත් සාක්ෂි මත පදනම්ව මිස, අත්අඩංගුවට ගැනීමෙන් පසුව සාක්ෂි සෙවීම නීති විරෝධී බව ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පවසනවා.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් රූපවාහිනී නාලිකාවක ඊයේ (30) පැවති දේශපාලන වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා..
ඔහු පවසන්නේ, ලංකාවේ අපරාධ නඩු විධාන සංග්‍රහය සහ පිළිගත් නීතියට අනුව පුද්ගලයෙකු අත්අඩංගුවට ගත හැක්කේ සාක්ෂි මත පදනම්ව සැකකරුවෙකු ලෙස නම් කිරීමෙන් පසුව පමණක් බවත්, තමන්ට රිසි පරිදි පුද්ගලයින් රඳවා තබාගෙන සාක්ෂි එකතු කිරීමට නීතියෙන් අවසර නැති බවයි.
සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් පළමු දිනයේ මහේස්ත්‍රාත්වරයා හමුවේ පවා නිසි සාක්ෂි ඉදිරිපත් කිරීමට විමර්ශකයින් අපොහොසත් වූ බව අලි සබ්‍රි මහතා පෙන්වාදෙනවා.
2019 අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් එදින සිටම විමර්ශන සිදුවූ බවත්, FBI සහ ස්කොට්ලන්ඩ් යාඩ් වැනි ජාත්‍යන්තර ආයතන පවා මීට සම්බන්ධ වී සම්පූර්ණ විමර්ශනයක් කර ඇති බවත් ඔහු පැවසුවා.
එමෙන්ම හිජාස් හිස්බුල්ලා, රිෂාඩ් බදුර්දීන් වැනි පුද්ගලයින් දේශපාලන අවශ්‍යතා මත විවිධ කාලවලදී අත්අඩංගුවට ගත් නමුත් අවසානයේ ඔවුන්ට එරෙහිව පදනම් විරහිත චෝදනා එල්ල වූ බවත්, දැන් සිදුවන්නේ ද එවැනිම දේශපාලන “චූන්” එකක් බවත් අලි සබ්‍රි මහතා චෝදනා කළා.
වත්මන් විමර්ශන මෙහෙයවන නිලධාරීන් සෘජුවම දේශපාලනයේ නිරත වූ පිරිසක් බව පෙන්වා දුන් අලි සබ්‍රි මහතා, සක්‍රීය දේශපාලනයේ නිරත පුද්ගලයින් පොලිස් නිලධාරීන් ලෙස නැවත පැමිණ අර්ධ අධිකරණමය ක්‍රියාවලියක් වන විමර්ශන මෙහෙයවීම බරපතළ පූර්වාදර්ශයක් බව පවසනවා.
“මෙහි සිදුවන්නේ සත්‍ය සොයා යාමක් නෙමෙයි, තමන්ගේ දේශපාලන අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා පුද්ගලයින් හඹා යාමක්” බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම සුරේෂ් සලේ මහතාට එරෙහිව එල්ල වන චෝදනාවලට පදනම වී ඇත්තේ චැනල් 4 නාලිකාවට අසාද් මවුලානා නමැත්තා කළ ප්‍රකාශයන් බවත්, ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට තම රජය සමයේ පත් කළ ‘ඉමාම්’ කමිටු වාර්තාව මගින් එම චෝදනා සියල්ල පදනම් විරහිත බව තහවුරු කර ඇති බවත් අලි සබ්‍රි මහතා පවසනවා.
මෙම අත්අඩංගුවට ගැනීම නීතිමය පදනමකට වඩා දේශපාලන න්‍යාය පත්‍රයක් මත සිදුවන්නක් බව පැවසූ අලි සබ්‍රි මහතා පෙන්වාදෙන්නේ, එය රටේ නීතියේ පාලනයට එල්ල වන තර්ජනයක් බවයි.



