පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා ගොනු කළ රිට් පෙත්සමට සහාය දක්වමින් ඉදිරිපත් කර ඇති අතරමැදි පෙත්සම් ලබන 17 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.
සුරේෂ් සලේ මහතා විසින් අදාළ රිට් පෙත්සම ගොනු කර ඇත්තේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින්.
පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර ඇතුළු පාර්ශ්ව කිහිපයක් එම පෙත්සමට සහාය පළ කරමින් අතරමැදි පෙත්සම් ගොනු කර තිබෙනවා.
අදාළ පෙත්සම් අද (10) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහතා අධිකරණයට දැනුම් දුන්නේ, මුල් පෙත්සම සම්බන්ධයෙන් නොතීසි නිකුත් කළහොත් පමණක් අතරමැදි පෙත්සම් සලකා බැලිය හැකි බවයි.
මේ අතර, අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ මහජන අවධානයට ලක්ව ඇති මෙම නඩුවට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ලබාදෙන ලෙසයි.
කෙසේ වෙතත්, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සඳහන් කළේ පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධනගේ මහතා කරුණු දැක්වීම් අවසන් වීමෙන් පසුව පමණක් එම අතරමැදි ඉල්ලීම් සලකා බැලිය හැකි බවයි.
ඒ අනුව, අදාළ අතරමැදි පෙත්සම් ලබන 17 වැනිදා යළි කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කළා.



