සහන පැකේජය අරන් ජනපති පාර්ලිමේන්තුවට

පවත්නා යුදමය තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාව සහ ක්ෂේත්‍ර රැසක් ඉලක්ක කරගනිමින් රුපියල් කෝටි 10,000ක (බිලියන 100ක) දැවැන්ත සහන පැකේජයක් ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක 2026 අප්‍රේල් 07 වන දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.

මෙහිදී ඩීසල් සහ පෙට්‍රල් සඳහා ලබා දෙන සෘජු සහනාධාර, ධීවර හා ගොවි ජනතාව සඳහා පිරිනමන විශේෂ දීමනා, “අස්වැසුම” ප්‍රතිලාභ ඉහළ නැංවීම මෙන්ම විදුලි අර්බුදය හමුවේ රජය මැදිහත් වන ආකාරය පිළිබඳවද ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කළේය.

එසේම ඉන්ධන, ගෑස් සහ පොහොර අඛණ්ඩව සැපයීම සඳහා ඉන්දියාව, චීනය සහ රුසියාව වැනි රටවලින් ලැබෙන රාජ්‍යතාන්ත්‍රික සහාය පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කළ අතර, එම සම්පූර්ණ කතාව පහත දැක්වේ.

යුදමය තත්ත්වය හමුවේ ක්ෂේත්‍ර ගණනාවක් යම් පීඩාකාරී තත්ත්වයට පත්වෙලා තියෙනවා. ඒ නිසා රජයක් හැටියට අපේ වගකීම තමයි ඒ පීඩාකාරී තත්ත්වයට පත්වන ක්ෂේත්‍ර ගැන අවධානය යොමු කරලා යම් සහනශීලී වැඩපිළිවෙළක් අනුගමනය කරන එක. ඒක තමයි වඩාත් යෝග්‍ය කියලා අපි කල්පනා කරන්නේ. ගරු කථානායකතුමනි, අපි මෙහිදී මේ ප්‍රශ්නයට ප්‍රවේශ මාර්ගය මොකක්ද කියලා බැලුවොත් ආකාර දෙකකට කල්පනා කරනවා.

අපි දන්නවා අර්බුදය මතුවන තැන් දෙකක් තමයි ඉන්ධන සහ විදුලිය; එනම් බලශක්ති ක්ෂේත්‍රය සහ ගෑස්. එතකොට අපට පුළුවන් එක විදියකට – මට මතකයි පක්ෂ නායක රැස්වීමේදී රවී කරුණානායක මන්ත්‍රීතුමා යෝජනා කළා ඉන්ධන පිරිවැයට ගළපා විකුණන්න දෙන්න කියලා. ඒක එක ක්‍රමයක්. විදුලිබල මණ්ඩලය සහ තෙල් සංස්ථාව අධික පාඩු ලැබීමට රටක් හැටියට මුහුණ දුන්නා. ඒ නිසා ඉන්ධන පිරිවැයට ගළපා මාකට් එකේ විකුණන්න ඕනෑ. ඒක එක යෝජනාවක්.

දෙවැනි යෝජනාව, ඉන්ධන පිරිවැයට ගළපන්නේ නැතිව සහනාධාර ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම. ඒක තමයි දෙක. අපි පිරිවැය ගළපා විකුණුවොත් භාණ්ඩාගාරයට බලපාන්නේ නැහැ. හැබැයි ආර්ථිකයට, කර්මාන්තකරුවන්ට, ව්‍යාපාරිකයන්ට සහ සාමාන්‍ය ජනතාවට බලපෑමක් එල්ල වෙනවා. ඒ නිසා තුලනාත්මක තැනක් ඕනෑ වුණා. ඒ අනුව ඉන්ධන මිල ඉහළ යාම අනුව මාකට් ප්‍රයිස් එකට දැන් ගියොත් ඩීසල් ලීටරයක් රුපියල් හයසියය ඉක්මවනවා. ඒ ඇතුළේ එක්සයිස් ඩියුටි (බදු) තියෙනවා. මේක මුළුමනින්ම අයින් කරන්න කියලා සමහරු යෝජනා කරනවා. ඒක හොඳයි. හැබැයි බද්ද අයින් කළොත් රුපියල් 50ක් තමයි ඩීසල්වලට බලපාන්නේ. අපි කල්පනා කළේ බද්ද එසේම තියෙන ගමන් අලෙවි වන සෑම ඩීසල් ලීටරයකටම රුපියල් සීය දක්වා මුදලක් මහා භාණ්ඩාගාරයෙන් වෙන් කරන්න. ඒ කියන්නේ ඉන්ධන පිරිවැයට අනුව ගළපනවා. එළඹෙන මැයි මාසයේ 01 වැනිදා හෝ ආසන්න දිනයකදී ගළපනවා. ඒක ගණනය කරන්නේ ඊට පෙර මාසයේ ඇත්ත දත්ත මත. ඊළඟ ඉන්ධන ගැලපුම් ගාස්තුවේදී ඇත්ත ගාස්තුවට ගණනය කරලා ඩීසල් ලීටරයකට රුපියල් සීය දක්වා සහනාධාරයක් දෙන්න. පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් විස්ස දක්වා සහනාධාරයක් දෙන්න. ඒ අනුව අපි ගණනය කරලා තියෙනවා මාසයකට බිලියන විස්සක් යනවා කියලා. ඒ කියන්නේ රුපියල් කෝටි 2,000ක් වැය වෙනවා. මාස තුනකට අපි යෝජනාව සකස් කරලා තියෙනවා.

සහනාධාර ලබා දිය යුත්තේ ඉලක්කගත ප්‍රජාවටයි. මූලධර්මයක් හැටියට අපි සහනාධාර ලබා දිය යුතු වන්නේ ඉලක්කගත ප්‍රජාවට. නැත්නම් ඩීසල් ලීටරයකට ඉන්ධන සහනාධාරයක් දුන්නාම සාමාන්‍ය පරිභෝගිකයා ඩීසල් ලීටර් 10ක් පාවිච්චි කළොත් ඔහුට රුපියල් දාහක් ලැබෙනවා. තව කෙනෙක් ඉන්ධන ලීටර් 100ක් ගැහුවොත් දස දහසක් ලැබෙනවා. ඒත් අපට හරි දත්ත ක්‍රමයක් නැහැ. ඒ නිසා තමයි අපි තීන්දු කළේ සුපර් ඩීසල් සහ සුපර් පෙට්‍රල් වෙළෙඳපොළ මිලට ගළපන්න. ඒවා පරිභෝජනය කරන්නේ ඔබ කී අන්දමේ ජනතාව කියලා අපි හිතනවා. ඒත් අපට තීරණය කරන්න බැහැ. පොදුවේ අප සෑම ඩීසල් ලීටරයකටම රජය රුපියල් සීයක වියදමක් දරනවා. ඒ සඳහා රුපියල් කෝටි දෙදහසක් වැය වෙනවා එක මාසයකට. මාස තුනකට සැලසුම් කරලා තියෙනවා රුපියල් කෝටි හයදහසක් වෙන් කරන්න ඩීසල් සහ පෙට්‍රල් සහනාධාරය සඳහා. ඒක වැදගත්; මුළුමනින්ම ජනතාවට බර දාන්නේ නැතිව.

තෝරා ගත් ජන ප්‍රජාවන් ඉන්නවා. ඉන්ධන තමන්ගේ ආර්ථිකයේ ප්‍රධාන කාර්යය බවට පත් කරගන්නවා ධීවර ජනතාව. එතකොට අර සහනාධාරයට අමතරව ධීවර ජනතාවට සහනයක් දිය හැකිද? ඒ අනුව සාමාන්‍ය එන්ජින් සහිත බෝට්ටුවකට පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් කවර ඉන්ධනයක් පාවිච්චි කළත් රුපියල් සීයට අමතරව රුපියල් 50ක අඩුවීමක් ධීවර ජනතාවට ලබා දෙනවා. ඉන්ධන ප්‍රභේද හදන්න ගියොත් අසීරුතාවකට පත් වෙනවා. සාමාන්‍ය බෝට්ටුවකට ලීටර් 25 ගානේ දවස් 25කට ලීටර් 625ක් ලබා දෙනවා රුපියල් 50ක් අඩුවට. ඒ රුපියල් 50 ආණ්ඩුව ඔවුන්ගේ බැංකු ගිණුමට එවනවා. රුපියල් 31,250ක් සාමාන්‍ය බෝට්ටු හිමියන්ට ලබා දෙනවා.

බහුදින යාත්‍රා – දිලිප් වෙදආරච්චි මන්ත්‍රීතුමාට තියෙනවා නේද එකක්? බහුදින යාත්‍රා මාසෙකට එක වතාවක් විතරයි මුහුදු යන්නේ. ඒ නිසා බහුදින යාත්‍රාවක් සඳහා ලක්ෂ එකහමාරක ඉන්ධන දීමනාවක් ලබා දෙනවා.

ඊළඟ ප්‍රධාන ප්‍රශ්නය පැන නඟින්නේ මේ හා බැඳුණු පොහොර පිළිබඳව. විශේෂයෙන් යූරියා. යූරියා ප්‍රශ්නය තමයි දැනට පරණ මිලට ගෙනාපු පොහොරවලින් සැලකිය යුතු ප්‍රමාණයක් ගොවිජන සේවා මධ්‍යස්ථාන සතුව තිබෙනවා; කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ. පරණ මිලට ගෙනාපු පොහොර මෙට්‍රික් ටොන් 14,000ක් තිබුණා. සමාගම් සියලු දෙනා එකඟ වුණා ඔවුන් සතුව තියෙන යූරියාවලින් සියයට 65ක් ගොවිජන සේවා මධ්‍යස්ථානවලට ලබා දෙන්න. පසුව ඔවුන් පැරණි මිලට ගෙනාපු සියලු පොහොර අපට ලබා දෙන්න එකඟ වුණා. ඒ යූරියා ප්‍රමාණය අපට වී ගොවිතැන සඳහා මුර දෙකකට ප්‍රමාණවත්. හැබැයි තුන්වැනි මුරය සඳහා අධික මිලට ගන්න සිද්ධ වෙනවා. ඊයේ නැවක් ආවා. ව්‍යාපාරිකයන් හතර දෙනෙක් පොහොර ගෙනාවා. ඒ මිල තියෙන්නේ හතර මිලකට. අඩුම එක තියෙන්නේ මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 680. ඩොලර් 850 දක්වා විවිධ මිල ගණන් තියෙනවා. පොහොර මිල ඉහළ යාමේ අනතුරක් තිබෙනවා. ඒ නිසා තුන්වැනි මුරයටත් 10,200ටම පොහොර ලබා දෙනවා. අපි අර සමාගම්වලින් අරගෙන 10,200ක ස්ථාවර මිලට දෙනවා. සමාගම්වල මිල 13,000 – 14,000ක් වේවි. ඒ නිසා පොහොර මිලෙන් රුපියල් තුන්දහසක විතර මුදලක් රජය දරනවා. ඒ සඳහා රුපියල් බිලියන 1.7ක් අවශ්‍ය වෙනවා. එතකොට යල් කන්නය සඳහා යූරියා වී ගොවිතැන සඳහා ස්ථාවර කරනවා. අමතරව පොහොර මිල ඉහළ යාම වගේම ඉන්ධන ගාස්තු ඉහළ යාමත් ගොවි ජනතාවට බලපානවා. හැබැයි පොහොර සහනාධාරය ලබා දෙන්නේ හොඳ ක්‍රමයකට. වගා කරන බෝගය වී ද? අතුරු බෝග ද? ඒ මතයි පොහොර නිර්දේශය දෙන්නේ. ඒ නිසා පොහොර නිර්දේශය සැලකිල්ලට ගෙන තව සහනාධාරයක් දෙන්න භාර දුන්නා. පොහොර තමයි නිර්ණායකය. වී වගා කරනවා නම් රුපියල් 25,000යි සහනාධාරය. අතුරු බෝග වගා කරනවා නම් රුපියල් 15,000යි. ඒක ලබා දෙන්නේ වගා කරන ප්‍රමාණය සහ බෝගය මත. ඒක විධිමත් නිර්ණායකයක් වන නිසා අපි රුපියල් 25,000 වූ පොහොර සහනාධාරය 30,000 දක්වා 5,000කින් වැඩි කරනවා. කුඹුරුවල අතිරේක බෝග වගා කරන ප්‍රමාණය වැඩියි. ඒ සඳහා රුපියල් 15,000ක සහනාධාරයක් දෙන්නේ. ඒක රුපියල් 18,000 දක්වා වැඩි කළා. ඊට අමතරව තේ වගාව සඳහා; මම හිතන්නේ දැනටමත් රුපියල් 4,000ක් කුඩා තේ වතු හිමියන් සඳහා දීමනාවක් ලබා දෙනවා. අපි එක වරකට පමණක් ඒක රුපියල් 5,000ක දීමනාවක් අමතරව ලබා දෙනවා පොහොර මිටියකට. මේ සියල්ලම ගත්තාම ඒ වෙනුවෙන් මිලියන 6,500ක් වැය වෙනවා.

ඊළඟට ප්‍රධාන වශයෙන් මුහුණ දීලා තියෙන ප්‍රශ්නය තමයි අඩු ආදායම්ලාභීන් කවුද? ඔවුන්ට කොහොමද සහනාධාරයක් ලබා දෙන්නේ? අපට තියෙන නිර්ණායකය “අස්වැසුම”. ඒ ගැන විවේචන තියෙනවා. එය තමයි මේ වෙලාවේ තියෙන නිර්ණායකය. ඒ වෙනුවෙන් දැනට රුපියල් 17,500, 10,000 සහ 5,000 “අස්වැසුම” කාණ්ඩ තියෙනවා. අප්‍රේල් මාසයට පමණක් රුපියල් 17,500 “අස්වැසුම” දීමනාව රුපියල් 25,000 දක්වා වැඩි කරනවා. රුපියල් 10,000 “අස්වැසුම” රුපියල් 15,000 දක්වා වැඩි කරනවා. සංක්‍රාන්ති මට්ටමේ “අස්වැසුම” රුපියල් 2,500කින් වැඩි කරනවා. රුපියල් මිලියන 8,500ක් ඒ සඳහා අමතර වශයෙන් වැඩි කරන්න සිද්ධ වෙනවා.

විදුලි බිලේ ප්‍රශ්නය ආකාර තුනකින් පැන නඟිනවා. එක ආකාරයක් තමයි ජලාශවල ජල මට්ටම පහළ යාම නිසා අපට වැඩිපුර තාප බලාගාරවලින් විදුලිය නිෂ්පාදනය කරන්න සිදු වී තිබීම. දෙවැනි ප්‍රශ්නය තමයි අපි මුහුණ දෙන ෆර්නස් ඔයිල්, නැප්තා සහ ඩීසල් බලාගාරවල මිල ඉහළ යාම. ඒක අපට බලපෑමක් ඇති කරනවා. තුන්වැනුව තමුන්නාන්සේලා හැමවිටම කියන ගල්අඟුරුවල ප්‍රමිතිය අඩු නිසා විදුලි ඒකක අඩුවෙන් නිෂ්පාදනය වීම. ඒවා අනෙක් බලාගාරවලින් ගන්න යනකොට ඇති වන අතිරේක වියදම.

මේ කරුණු තුන තියෙනවා. අතිරේක වශයෙන් බොරතෙල්වල ප්‍රශ්නය පැන නඟිනවා. මීට කලිනුත් කීවා, සිංගප්පූරුවෙන් සහ ඉන්දියාවෙන් පිරිපහදු කළ තෙල් ගන්නවා කියලා. ඒත් මැදපෙරදිගින් තමයි බොරතෙල් ගන්නේ. අප්‍රේල් මාසයේ 16 – 17 වගේ තමයි ගමන් මාර්ගය පරීක්ෂා කිරීම අනුව බොරතෙල් නැවක් එන්නේ. ඒ අනුව පිරිපහදුව දවස් කිහිපයක් වසා තබන්න සිද්ධ වේවි. පිරිපහදුවෙන් තමයි අවශ්‍ය වන නැප්තා සහ ෆර්නස් ඔයිල් හැදෙන්නේ. පිරිපහදු කළාම තමයි බලාගාරවලට ඒවා සැපයෙන්නේ. ඒ අනතුර කලින් දැකලා අපි ෆර්නස් ඔයිල් වෙනම ආනයනය කරන්න තීන්දු කළා. 13-15 වගේ ෆර්නස් ඔයිල් එනවා. හැබැයි ඒවා ආනයනය කරද්දී පිරිපහදු කරනවාට වඩා මිල වැඩියි. පිරිපහදුව යම් කාලයක් වසා තබන්න සිද්ධ වුණොත්, නැප්තා නිෂ්පාදනය කරන්නේ නැත්නම්, ඒවා ඩීසල්වලින් දුවන්න සිද්ධ වෙනවා. එහෙම වුණාම වෙන්නේ විදුලි බිලට අතිරේක බලපෑමක් එන එකයි.

බොරතෙල් හිඟ වීම නිසා නැප්තා සහ ෆර්නස් ඔයිල් වෙනුවට ඩීසල්වලින්ම විදුලිය නිෂ්පාදනය කරන්න සිද්ධ වෙනවා. එතකොට විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා යන පිරිවැය වැඩි වෙනවා. මෙය ආකාර කිහිපයක බලපෑමක්: එක, ජලාශ හිඳීම නිසා ඉන්ධනවලින් නිපදවීම; දෙක, ඉන්ධන මිල ඉහළ යාමෙන් විදුලියට බලපාන බලපෑම; තුන, ඩීසල් පාවිච්චි කරන්න සිද්ධ වීම නිසා ඇති වන බලපෑම; හතර, අපේක්ෂා කරන නිෂ්පාදනය ගල්අඟුරුවලින් සිදු නොවීම නිසා ඇති වන බලපෑම. පෙරේදා බලාගාරය සම්පූර්ණයෙන් දුවලා තියෙනවා. සාමාන්‍යයෙන් මෙගාවොට් 270ක් හැදෙන්න ඕනෑ. එකක 270ක් හැදුණා. අනෙක් එකෙන් 266ක් හැදුණා. ඒක උච්ඡාවචනය වෙනවා. අපට තියෙන මෙගාවොට් 900 බලාගාරයෙන් 810යි ලැබෙන්නේ. එයින් 270 ගානේ තමයි හැදෙන්න ඕනෑ. ඒත් සමහර බලාගාරවලින් ඒ ගාණ හැදෙන්නේ නැහැ. බලාගාරවල ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඒක ටෙන්ඩරයේ ප්‍රශ්නයක් නෙවෙයි; ගල්අඟුරු නිවැරදි නැතිකම. ඒවායේ නිවැරදිකම බලන්නේ මම නෙවෙයි, පරීක්ෂණාගාරවලින්. පටවන්න පෙර ඔවුන් ගල්අඟුරු පිළිබඳ වාර්තාවක් එවනවා. අපි සියයට 80ක් එතකොට ගෙවනවා. අපි ඉතිරි සියයට 20 ගෙවන්න ඉන්දීය පරීක්ෂණාගාරයක් තෝරාගන්නවා. ඉන්දියාවේ පරීක්ෂණාගාරය තෝරාගත්තේ 2023 දී. නැව් තුනක පරීක්ෂණ අසමත්. ඒත් නැව් තුනක පරීක්ෂණාගාර වාර්තා සමත් වුණත් පද්ධතියෙන් කියනවා අවශ්‍ය නිෂ්පාදනය ලැබෙන්නේ නැහැ කියලා.

අපි සමහර වාර්තා මත දඩ නියම කරලා තියෙනවා. තවත් සමහර ඒවායේ සියයට 20ක කොටස ගෙවන්නේ නැතිව ඉන්නවා. සමහර ඒවායේ සියයට අසූව ගෙවලාත් නැහැ. කොහොම වුණත් ප්‍රමිතිය අඩු වීම නිසා ඇති වන අතිරේක වියදම ඒ සමාගම හරහා අඩු කරගන්නවා. ඒක පුරවැසියන්ගේ ලයිට් බිලට එකතු කරන්නේ නැහැ. මේක අපේ ආණ්ඩුවක්; කම්පැණිකාරයන්ගේ ආණ්ඩුවක් නෙවෙයි. පළමු වැනි නැව ඔවුන් අපට දුන්නේ ඩොලර් 98ට. පැනල්ටිය (penalty) ගැහුවාම ඔවුන්ගේ ටොන් එකක් ඩොලර් 68ට වැටෙනවා. අපි දඩ ගහනවා. ගෙවන්න බැරි වුණොත් නඩු යනවා. සාමාන්‍ය පාරිභෝගිකයාට පටවන්නේ නැහැ.

ඒත් ජල මට්ටම සහ ඩීසල් යොදා ගැනීමට සිදුවීමෙන් විදුලි බිලට බලපෑමක් ඇති වෙනවා. එහිදී තෝරා ගත් ඉලක්කගත ජනතාවට සහනයක් ලබා දිය යුතුයි. මෙය කිසිසේත්ම තත්ත්වය මත වැඩි වීමක් නෙවෙයි. පෙබරවාරි 01 කරන ලද උපකල්පනය මත තමයි අප්‍රේල් මාසයේ 01 වැනිදා බිලට මේ බලපෑම ඇති කළේ. ඒකක 30ට වඩා අඩු අයට මාසෙට රුපියල් 15ක මිල වැඩි වීමක් – ඒ කියන්නේ දවසට සත 50යි. පන්දම් ටිකක් පස්සේ තියාගන්න; දැන්ම ගන්න එපා. ඊළඟ එකට දවසට රුපියලයි වැඩි වුණේ. මේ විදුලි මිල වැඩි වීම ඇති වූ අර්බුදය එක්ක ආපු එකක් නෙවෙයි. ඒත් අර්බුදයෙන් යම් බලපෑම් එනවා. එය එක්කෝ විදුලිබල මණ්ඩලයට දරන්න කියන්න පුළුවන්, නැත්නම් භාණ්ඩාගාරයට දරන්න පුළුවන්, නැත්නම් ජනතාවට දරන්න වෙනවා. අපි කියන්නේ මේ තුන් පාර්ශ්වයම පංගුවක් දරාගන්න ඕනෑ කියලා. සමාගම දරන්න ඕනෑ ප්‍රමිතියෙන් බාල නිසා ඇති වන පාඩුව. ඒක කිසිසේත්ම ජනතාව මත නැහැ. ජාතික පද්ධති කළමනාකරණ සමාගම විසින් එය දරාගත යුතුයි.

අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී විදුලි බිල වැඩි වීමකදී සහන දෙන්න. එයට මසකට රුපියල් කෝටි 500ක් වෙන් කරනවා. මාස තුනකට රුපියල් කෝටි 1,500ක්. අපි අනුමාන කරනවා බිලියන 32ක වගේ පාඩුවක් සිද්ධ වේවි කියලා. එයින් 15ක් ආණ්ඩුව දරා ගන්නවා. බිලියන හතක් ගල්අඟුරු ප්‍රශ්නය නිසා විය හැකියි; එය අය කරගන්නවා. බිලියන 10ක් හෙවත් තුනෙන් එකක් වගේ විදුලි බිලට ඇතුළත් විය යුතුයි. මට කවුරුහරි කියන්න මීට වඩා වෙනස් ක්‍රමයක්.

මේ අර්බුද ඇති වුණාම 2022 දී පන්දහසේ කොළ ගහලා බෙදුවා. ඒකෙන් උද්ධමනය සියයට 70ට ගියා. මුදල් මාකට් එකට එව්වා. අපටත් පුළුවන් බෙදලා දාන්න. හැබැයි බෙදුවොත් අනෙක් පැත්තත් බලන්න. සියයට 33ට පොලී අනුපාතිකය ගියා. සියයට 38ට ඕඩී (OD) එක ගියා. බැඳුම්කර පොළිය සියයට 30 ඉක්මවලා ගියා. ඒක ඉතාමත් අක්‍රමවත් දෙයක්. අපි උද්ධමනය දෙස බලන්න ඕනෑ. බැංකු පොලී අනුපාතිකය දෙස බලන්න ඕනෑ. ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව දෙස බලන්න ඕනෑ. මේ ඔක්කොම බලමින් තමයි විධිමත් ක්‍රමය හදලා තියෙන්නේ. ඔබට මතක ඇති කොවිඩ් ව්‍යසනයේදී (දිට්ඨ/ව්‍යසනයේදී) රුපියල් කෝටි 50,000ක් මහජනතාවගේ වුවමනා වෙනුවෙන් යෙදෙව්වා. ඒක තමයි ආණ්ඩු කියන්නේ. මේ ව්‍යසනයේදී මා ඉදිරිපත් කළ පැකේජය තුළ රුපියල් කෝටි 10,000ක් තියෙනවා; බිලියන 100ක් තියෙනවා. අපි මේ වෙලාවේ ජනතාවට සහනයක් දිය යුතුයි. අපට දරාගත හැකි ප්‍රමාණය බිලියන 100ක් දීලා තියෙනවා. මේ තත්ත්වය වර්ධනය වුණොත් නැවත තමුන්නාන්සේලා ගාවට එන්නම්; යෝජනා දෙන්නම්.

මේ මුදල් ණයට අරගෙන හෝ අලුත් මුදල් සපයා ගැනීමකින් තොරව අපේ අයවැය ලේඛනය තුළින්ම තමයි වෙන් කරන්නේ.

ඒ නිසා කිසිසේත්ම මුදල් සංසරණය වැඩි වෙන්නේ නැහැ. ආණ්ඩුවේ ණය වැඩි වෙන්නේ නැහැ. ආණ්ඩුව ගන්නා භාණ්ඩාගාර බිල්පත්වල හෝ බැඳුම්කරවල හෝ අගය වැඩි වෙන්නේ නැහැ. අපි සියයට 10ට යටින් පොලී අනුපාතිකය පවත්වාගෙන යන්න, උද්ධමනය සියයට 5ට වඩා යටින් පවත්වාගෙන යන්න උත්සාහ කරනවා. ඩොලරය මේ විදියටම තිබියදී ඉන්ධන මිල ඉහළ ගියොත් අතිරේක ඩොලර් බිලියන 1.5ක් ඉන්ධන ආනයනයට වැය වෙනවා. ඒක ආර්ථිකයට දරාගන්න පුළුවන් කියලා හිතන්නේ නැහැ. ඒ නිසා ඉන්ධන පාවිච්චිය ගැන තවත් පරෙස්සම් විය යුතුයි. ඉන්ධන මිල මත පමණක් නෙවෙයි, පාවිච්චිය ගැනත් කල්පනා කරන්න ඕනෑ.

අපට පුළුවන් ඉතාමත් විධිමත්ව ආර්ථිකය ඛණ්ඩනයට පත් නොවී ජන ජීවිතය සාමාන්‍ය ආකාරයට ගෙන යමින් රුපියල් කෝටි 10,000ක සහන පැකේජයක් යෝජනා කරන්න.

පොදුවේ සියලු ජනතාවට ඉන්ධන, විදුලි, ධීවර, ගොවි, කුඩා තේ වතු, අස්වැසුම යනාදි සහනාධාර ලෙස බිලියන සීය යෝජනා කරලා තියෙනවා. මේ තත්ත්වය තවත් වෙනස් වුණොත් තවත් මුදල් වෙන් කරනවා.

අපි අඛණ්ඩ බලශක්තිය සහ ඉන්ධන සැපයීමක් සඳහා වගකීම භාරගන්නවා. අපට මැයි අග දක්වා අඛණ්ඩව ඉන්ධන සපයන්න පුළුවන්. ඒ වගේම සහන මිලකට ලබා දෙනවා. පුරෝකථනය කරන්න අමාරුයි එතැනින් එහාට. කොහොමත් ඒ දක්වා දින 55ක් තියෙනවා. ගබඩා පහසුකම් හදලා ඉදිරි සැලසුම් හදනවා. අපට ඉදිරිය සැලසුම් කරන්න කාලය තියෙනවා.

මේ වෙද්දී ඉන්දීය අගමැති මෝදි මහතා එක්ක කතා කළා. එහිදී විශේෂයෙන් ඩීසල් සහ පෙට්‍රල් යම් ප්‍රමාණයක් ලබා දෙන්න එකඟ වුණා. එතුමාටත් ස්තූතිවන්ත වෙනවා. චීන තානාපතිතුමා එක්ක සාකච්ඡා කළා. එතුමා චීන රජය එක්ක සාකච්ඡා කරලා ඇවිත් අපව මුණගැසුණා. චීන රජය ඩීසල් ප්‍රමාණයක් ලබා දෙන්න එකඟ වුණා. රුසියාව එක්ක ශක්තිමත් ගනුදෙනුවකට අවතීර්ණ වුණා. රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා පැමිණියා. නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා පැමිණියා. ගෑස්, ගල්අඟුරු, ඉන්ධන සහ පොහොර පිළිබඳ සාකච්ඡා කළා. බැංකු පිළිබඳ ප්‍රශ්න අපට තියෙනවා. මේ රටවල් එක්ක කරන්නේ මොන වගේ ගනුදෙනුද? බැංකු සූදානම්ද? කියන ප්‍රශ්නය තියෙනවා. අපට අප්‍රේල් 11 දක්වා රුසියාව එක්ක ගනුදෙනු කරන්න අවස්ථාව දෙනවා. එයින් පසු එය දීර්ඝ වෙනවාද දන්නේ නැහැ. රුසියාව එක්ක අපි ශක්තිමත් ගනුදෙනු කරනවා. බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා එක්ක සාකච්ඡාවේ නිරත වුණා. රාජ්‍යතාන්ත්‍රික සහාය ලබාගන්න කටයුතු කරනවා. රජයක් හැටියට ගත හැකි පියවරයන් විමසිලිමත්ව, පාර්ලිමේන්තුවේදී සහ පිටතදී ඉදිරිපත් කරන අදහස්වලට සවන් දෙමින් සැලකිල්ලට භාජනය කරනවා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *