රජය විසින් ඉන්ධන සඳහා වෙන් කරන ලද රුපියල් බිලියන 57ක සහනාධාර මුදල ලබන සැප්තැම්බර් මාසය වන තෙක් පවතිනු ඇතැයි අපේක්ෂා කළද, වත්මන් අධික පිරිවැය සහ ප්‍රවණතාව අනුව එළඹෙන ජූනි මාසය අවසන් වන විට එම මුදල සම්පූර්ණයෙන්ම වැය වී සහනාධාරය අහෝසි වීමේ අවදානමක් ඇතැයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වුණා.
කාරක සභාවේදී ප්‍රශ්න කෙරුණු ඉන්ධන සහනාධාර ක්‍රමවේදය පිළිබඳව අදහස් දැක්වූ ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා පවසා සිටියේ, දැනට ඩීසල් ලීටරයකට රුපියල් 100ක් සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක් බැගින් රජය සහනාධාර ලබාදෙන බවයි.
අප්‍රේල් මාසයේදී පමණක් ඒ සඳහා රුපියල් බිලියන 20ක් වැය වී ඇති අතර, ඉන් බිලියන 15ක් දැනටමත් ගෙවා අවසන බවත් ඉතිරි බිලියන 5ක මුදල ගෙවීමට නියමිතව ඇත්තේ අදාළ පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේදී සම්මත වූ පසුව බවද සභාපතිවරයා සඳහන් කළා.
කෙසේ වෙතත්, අප්‍රේල් මාසයේ දත්ත අනුව ඩීසල් ලීටරයකින් සංස්ථාවට රුපියල් 129ක දැවැන්ත අලාභයක් සිදුවන අතර රජයේ සහනාධාරයෙන් පසුවද තවත් රුපියල් 29ක ශුද්ධ අලාභයක් සංස්ථාවට දැරීමට සිදුව ඇති බව ඩී.ජේ රාජකරුණා මහතා පවසනවා.
පසුගිය මැයි 13 වෙනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ආර්ථික සහන පැකේජය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ, පිරිවැය ගාස්තු ගණනය කරමින් ඩීසල් ලීටරයකට රුපියල් 100ක සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක සහනාධාරයක් මාස තුනක් සඳහා ලබාදීමට රජය රුපියල් කෝටි 6,000ක් වෙන් කළ බවයි.
මේ අතර නුවරඑළිය දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද මීට සමාන අදහසක් දක්වමින් කියා සිටියේ, ලෝක වෙළඳපොළ මිල අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 720ක් ඉක්මවා ගියත් රජයේ රුපියල් 100ක සහනාධාරයද සහිතව ජනතාවට එය රුපියල් 392කට ලබාදීම නිසා සංස්ථාව තවදුරටත් පාඩු ලබන බවයි.
පෙබරවාරි මාසයේදී තෙල් ආනයනයට ඩොලර් මිලියන 98ක් වැය වුවද, මාර්තු මාසයේදී මිලියන 216ක්, අප්‍රේල් මාසයේදී මිලියන 368ක් සහ මැයි මාසයේදී ඩොලර් මිලියන 522ක් දක්වා එය 6 ගුණයකින් වැඩි වී ඇති බව ජනාධිපතිවරයා පෙන්වාදුන්නා.
ඩොලර් පිටතට ගලා යාම පාලනය කිරීම සඳහා ඉන්ධන පරිභෝජනය සීමා කිරීම රජයේ ඉලක්කය බවත්, භාණ්ඩාගාරයෙන් දිගින් දිගටම මෙලෙස මුදල් ලබාදෙමින් සංස්ථාව පවත්වාගෙන යා නොහැකි බැවින් ඉන්ධන මිල ඉහළ දැමීම වැනි දැඩි තීන්දු තීරණවලට එළඹීමට සිදු වූ බවත් ඔහු අවධාරණය කළා.
කෙසේවෙතත් මෙම තත්ත්වය හමුවේ ජූනි මාසයෙන් පසු සහනාධාරය අහිමි වුවහොත්, ලංකා විදුලිබල මණ්ඩලයේ නිෂ්පාදන පිරිවැය දැඩි ලෙස ඉහළ යනු ඇති බවට මුදල් කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා මෙහිදී අනතුරු අඟවනු ලැබුවා.
මේ අතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිසි සැලසුමකින් තොරව එකවර විශාල වශයෙන් විදේශ විනිමය වෙළඳපොළෙන් ඩොලර් මිලදී ගැනීම හේතුවෙන් පසුගිය දිනවල ඩොලරයේ අගය අනවශ්‍ය ලෙස ඉහළ ගොස් මුළු රටේම බඩු මිල කෙරෙහි දැඩි බලපෑමක් එල්ල වී ඇතැයිද හර්ෂ ද සිල්වා මහතා මෙහිදී චෝදනා කලා.
මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ පසුගිය දිනවල ඩොලරයේ අගය රුපියල් 350 සීමාවට යාමට සංස්ථාවේ මෙම හැසිරීම ඍජුවම බලපෑ බවයි.
ඛනිජ තෙල් සංස්ථාව බැංකු නවයක් සම්බන්ධ කරගනිමින් විධිමත් වෙන්දේසි ක්‍රමවේදයක් ඔස්සේ මෙම කටයුතු කළමනාකරණය කළේ නම් මෙවැනි අහිතකර මිල උච්චාවචනයන් මතු නොවන බව පෙන්වා දුන් ඒ මහතා, එකවරම වෙළඳපොළෙන් ඩොලර් මිලියන 50ක් වැනි විශාල ප්‍රමාණයක් මිලදී ගැනීමට යාමෙන් සමස්ත මූල්‍ය වෙළඳපොළම අස්ථාවර වන බවද, ඉහළ යන භාණ්ඩ මිල නැවත කිසිසේත් පහළ නොයන බැවින් මෙහි අවසන් ප්‍රතිඵලය රටේ පොලී අනුපාත පවා ඉහළ දැමීමට සිදුවීම බවද අවධාරණය කළා.
මීට පිළිතුරු දෙමින් ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා කියා සිටියේ, මැයි 29 වනදා සංස්ථාවට ඩොලර් මිලියන 79ක දැවැන්ත බිල්පතක් ගෙවීමට තිබූ බැවින් වෙළඳපොළේ ඩොලර් හිඟතාවක් මතු වූ බවයි.
ඒ අනුව, ඩොලර් මිලියන 46ක හිඟය පියවා ගැනීමට ලංකා බැංකුව හරහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මැදිහත්වීම ලබාගත් බවත්, අනෙක් අවස්ථාවලදී රුපියල් 328 බැගින් ඩොලර් මිලදී ගත් බවත් සභාපතිවරයා පැවසුවා.
දැනට දෛනිකව ඩොලර් මිලියන 11ක් බැගින් මිලදී ගැනීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බවද සංස්ථාව සඳහන් කළා.
එමෙන්ම වත්මන් ඩීසල් පරිභෝජනය සැලකිය යුතු ලෙස අඩු වී ඇති බවත් මුලින් දවසකට සාමාන්‍යයෙන් ඩීසල් ලීටර් 6000ක් පමණ තිබූ පරිභෝජනය මේ දිනවල 348 දක්වා අඩු වී ඇති බව එම නිලධාරින් පවසනවා.
විදුලි උත්පාදනය සඳහා අප්‍රේල් මාසයේදී දෛනික සාමාන්‍යය 977ක් ලෙස ඉහළ අගයක තිබුණද, මේ වන විට එය 332 දක්වා පහත වැටී ඇති බවයි එම සංස්ථාව පවසන්නේ.
කෙසේ වෙතත්, මීට පෙර විදුලිබල මණ්ඩලයට ඇති වූ හදිසි අර්බුදකාරී තත්ත්වයක් හේතුවෙන්, සැලසුම් කළ පරිදි සාමාන්‍ය ඩීසල් නැවක් මෙරටට ළඟා නොවීම නිසා විදුලි උත්පාදනය වෙනුවෙන්ම පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 25ක පිරිවැයක් දරා හදිසි ඉන්ධන නැවක් ඇණවුම් කිරීමට සිදු වූ බවද ඛනිජ තෙල් සංස්ථා නිලධාරීන් මෙහිදී වැඩිදුරටත් අනාවරණය කළා.



