සුන්දර මන්දනාගෙන් වාර්තා පොකුරක්

කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියේ ඊයේ පැවති නවසීලන්තයට එරෙහි තීරණාත්මක තරගයේ දී ඉන්දීය උපනායිකාව සහ ආරම්භක පිතිකාරිනිය වන ස්මිත්‍රි මන්දනා වාර්තා රැසක් පිහිටුවමින් ජයග්‍රාහී ශතකයක් රැස්කිරීමට සමත් වුණා.

මෙම තරගයේදී, ඇය පන්දු 95 කදී ලකුණු 109 ක් වාර්තා කරමින් ආක්‍රමණශීලී ඉනිමක් ක්‍රීඩා කළා.

මන්දනා විසින් මෙම ශතකය වාර්තා කිරීමත් සමඟ, ඇය විසින් ජාත්‍යන්තර වාර්තා කිහිපයක් බිඳ හෙලීමට සහ සම කිරීමට සමත්ව සිටිනවා.

මෙම ශතකය 2025 දින දර්ශන වර්ෂයේදී ඇය වාර්තා කළ පස්වන එක්දින (ODI) ශතකයයි.

ඒ අනුව, ඇය දකුණු අප්‍රිකාවේ ටාස්මින් බ්‍රිට්ස් (Tazmin Brits) විසින් මේ වසරේ තබා තිබූ වාර්තාව සම කරමින්, එක් වසරක් තුළ කාන්තා එක්දින තරගවලදී වැඩිම ශතක වාර්තා කළ දෙවැනි ක්‍රීඩිකාව බවට පත්ව සිටිනවා.

තවද, මෙය මන්දනාගේ වෘත්තීය දිවියේ වාර්තා කළ 17 වන ජාත්‍යන්තර ශතකය වන අතර, ඒ හරහා ඇය ඕස්ට්‍රේලියාවේ සුපිරි ක්‍රීඩිකා මෙග් ලැනිං (Meg Lanning) විසින් තබා ඇති වැඩිම ජාත්‍යන්තර ශතක වාර්තාවද සම කිරීමට සමත්.

එමෙන්ම මන්දනා ඇයගේ 14 වන එක්දින ශතකය වාර්තා කිරීමත් සමඟ මෙග් ලැනිං (15) විසින් තබා ඇති කාන්තා එක්දින තරගවලදී වැඩිම ශතක වාර්තාවට ඇය තවදුරටත් සමීප වෙමින් සිටිනවා.

ඊයේ තරගයේ දී මන්දනා සමග එක්වූ ආරම්භක පිතිකාරිනිය ප්‍රතිකා රාවල් ද ලකුණු 122 ක විශිෂ්ට ශතකයක් වාර්තා කළා.

ඒ අනුව ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ලට ලකුණු 212ක ඓතිහාසික සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූ අතර, එය කාන්තා එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් සඳහා ඉන්දියාව වෙනුවෙන් වාර්තා වූ ඉහළම සම්බන්ධතාවය (පෙර වාර්තාව ලකුණු 184 – මන්ධානා සහ හර්මන්ප්‍රීත් කෞර්) ලෙස වාර්තා ගතවනවා.

මෙම ශතකය මන්ධානාගේ තුන්වන පිට පිට අර්ධ ශතක , ශතක ඉනිම වන අතර, මෙම ලෝක කුසලානයේදී වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණ ගැනීමටද ඇය සමත්.

මන්ධානාගේ ආක්‍රමණශීලී ඉනිම හතරේ පහර 10කින් සහ හයේ පහර 4කින් සමන්විත වුණා.

අවසානයේ මෙම ඓතිහාසික ආරම්භක සම්බන්ධතාව සහ ශතක දෙකේ බලය මත ගොඩනැගූ ඉන්දියාවේ ලකුණු 340/3ක දැවැන්ත ලකුණු පුවරුව, තීරණාත්මක තරගයකදී ඉන්දියාවට ජයග්‍රහණය ගෙන ආවා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *