සුපිරි වෙළෙඳසලකින් මස්, මාළු, කජු ඉස්සූ නීතිඥ නෝනා අත්අඩංගුවට

කොළඹ වාණිජ බැංකුවක නීති අංශයේ නීතිඥවරියක් රත්මලානේ පිහිටි සුපිරි වෙළෙඳසලකින් එළු මස්, කුකුළු මස් හා කජු ඇතුළු භාණ්ඩ කීපයක් සොරාගෙන යමින් සිටියදී ඊයේ (18) රාත්‍රීයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය සඳහන් කරනවා.

එසේ සොරා ගත් භාණ්ඩ අතර රුපියල් 5290ක් වටිනා කුකුළු මස් ග්‍රෑම් 520ක්, එළු මස් ග්‍රෑම් 250ක්, බදින ලද කජු, දත් බුරුසුවක් හා ලන්ච් ශීට් පැකට්ටුවක් ඇයගේ අත්බෑගය තුළ සඟවා සිටියදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

භාණ්ඩ මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණි කාන්තාවක් හොර රහසේ තම අත්බෑගයට භාණ්ඩ කීපයක් දමා ගන්නා අයුරු සීසීටීවි කැමරාවේ සටහන් වන බවත්, ඇය සුළු මොහොතකින් එම ස්ථානයෙන් පිටවීමට නියමිත බවත් පවසමින් එම වෙළෙඳසලෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය වෙත ඊයේ (18) රාත්‍රී දුරකථන ඇමතුමක් ලැබුණ බව පොලිසිය පවසනවා.

ඒ අනුව වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එම කාන්තාව වෙළෙඳසලෙන් පිටවීමේදී ඇයගේ අත්බෑගය පොලිස් කාන්තාවක් ලවා පරික්ෂා කිරීමේදී හොර රහසේ අත්බෑගයට දමා ගත් භාණ්ඩ සොයා ගැනීමට හැකිවූ බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මෙම සැකකාර නීතිඥවරිය පෙරේදා (17) දින ද මේ අයුරින්ම එම සුපිරි එම වෙළෙඳසලෙන් මාළු සොරාගෙන ඇතැයි ද පොලිසිය පවසනවා.

සැකකාර නීතිඥවරිය සන්තකයේ තිබූ නීතිඥ හැඳුනුම්පතේ පන්නිපිටිය ප්‍රදේශයේ ලිපිනයක් සඳහන්ව ඇතත්, ඇය රත්මලාන ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි තැනැත්තියක් බව පොලිසිය සඳහන් කරනවා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *