“සොබාදහම සමඟ ගැඹුරින් බැඳුණු තෛපොංගල් උත්සවය ජීවිතවලට මහඟු අරුතක් එක්කරයි”

තෛපොංගල් උත්සවය නිමිත්තෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෛපොංගල් දින සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබේ.

සිය පණිවිඩය මගින් ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ සශ්‍රීකත්වය සහ කෘතගුණ දැක්වීම සංකේතවත් කරන තෛපොංගල් උත්සවය සරු අස්වැන්නක් පමණක් නොව අනාගතය පිළිබඳ ධෛර්යකින් සහ විශ්වාසයකින් යුතුව නව ගමනක් ආරම්භ කිරීමටද ආරාධනා කෙරෙන අවස්ථාවක් බවය.

මෑතකාලීනව මුහුණ දුන් විශාලතම ස්වභාවික ව්‍යසනයෙන් අනතුරුව,  ජාතියක් ලෙස යළි ගොඩනැඟීමේ අපේක්ෂා දල්වාගෙන, මහත් පරිශ්‍රමයකින් සහ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට අප සියලුදෙනා එක්ව උර දී සිටින බවද ජනාධිපතිවරයා පවසයි.

එම වැඩපිළිවෙළ සමග තව තවත් ශක්තිමත්ව ඇත්වැල් බැඳ ගැනීමට පෙරට එන ලෙස සශ්‍රීකත්වයේ අපේක්ෂා පෙරදැරි කරගත් මෙම තෛපොංගල් දිනයේදී සියලු දෙනාගෙන් ජනාධිපතිවරයා යළි ඉල්ලා සිටියි.

එසේම, සොබාදහමට වඩාත් සමීප වීමේ අවශ්‍යතාව අන් කවරදාටත් වඩා දැඩිව දැනෙමින් තිබෙන මේ මොහොතේ, සොබාදහම සමඟ ගැඹුරින් බැඳුණු තෛපොංගල් උත්සවය අපගේ ජීවිතවලටත්, සමාජයටත් මහඟු අරුතක් එක් කරන බව ද ජනාධිපතිවරයා සිහිපත් කර තිබේ.

“ඕනෑම අන්ධකාරයකට පසුව ආලෝකයක් ඇති බව අප දැඩිව විශ්වාස කරමු. තිර අදිටනින් සහ එකමුතුව අභියෝග ජය ගනිමින් ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ගොඩනැඟීමට යන ගමනට මෙවර තෛපොංගල් සැමරුම මහඟු ආශිර්වාදයක් වේවා’යි ප්‍රාර්ථනා කරමින් ශ්‍රී ලාංකික සහ ලොව පුරා වෙසෙන සියලු දෙමළ ජනතාවට සෞභාග්‍යවත් සුබ තෛපොංගල් සැමරුමකට ශුභාශිංසන එක් කරමි.” යනුවෙන්ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සිය සුබ පැතුම් පණිවිඩයේ සඳහන් කර ඇත.

මේ අතර එකිනෙකාට ගරු කිරීම, අන්‍ය ආගමික හා සංස්කෘතික අයිතීන් සුරැකීම වැනි උදාර ගුණාංග පෙරදැරි කර ගනිමින්, සංහිඳියාවෙන් පිරි නව ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට මෙම තෛපොංගල් දිනයේදී අප සැම එක්ව අධිෂ්ඨාන කරගත යුතු බව සිය තෛපොංගල් සුබපැතුම් පණිවිඩය එක් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනවිය පවසයි.

සොබාදහමට ගරුකරමින් ඊට කෘතවේදීත්වය පළ කරන මෙම තෛපොංගල් උත්සවය, යහපත් සංස්කෘතික වටිනාකම්වලින් හෙබි පුරවැසියන් බිහි කිරීමට මග පෙන්වීමක් බවයි සිය නිවේදනය මගින් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේය.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *