හොර ආලේපන විකුණූ නිළි සචිනිගේ සමාගමට දඩ

ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අනුමැතිය තිබෙන බවට ව්‍යාජ ලෙස ලේබලයේ සඳහන් කර හිසකෙස් ආලේපන වර්ගයක් (Hair Miracle) මාර්ගගත (Online) ක්‍රමයට අලෙවි කළ ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් වන සචිනි අයේන්ද්‍රාට අයත් සමාගමක් ඇතුළු සමාගම් දෙකකට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 40,000 දඩ මුදලක් නියම කර තිබෙනවා.

අන්තර්ජාලය ඔස්සේ මාර්ගගත ක්‍රමයට මෙම හිසකෙස් ආලේපන වර්ගය අලෙවි කරමින් පැවැති අතර ඒ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පරීක්ෂණයක් පවත්වා තිබෙනවා.

එම පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, මෙම හිසකෙස් ආලේපන වර්ගය සඳහා ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අනුමැතිය ලබාගෙන නොමැති නමුත් එහි අනුමැතිය ඇති බව ලේබලයේ සඳහන් කර තිබෙන බවයි.

එමෙන්ම අදාළ ආලේපන නිෂ්පාදකයාගේ ලිපිනය හෝ දුරකථන අංකය ඇසුරුම්වල සඳහන් කර නොතිබූ බවද පරීක්ෂණවලදී තහවුරුවී තිබෙන බව වාර්තා වනවා.

මෙම කරුණු හේතුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් අදාළ නිෂ්පාදනය වෙළෙඳපොළට ඉදිරිපත් කළ කොළඹ 08, කාසල් වීදියේ පිහිටි සමාගමට සහ ආලේපනය නිෂ්පාදනය කළ වැලිවේරිය, කිරිකිත්ත ප්‍රදේශයේ පිහිටි සමාගමට විරුද්ධව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබුණා.

ඒ අනුව අදාළ සමාගම් දෙක විසින් අධිකරණය ඉදිරියේ වරද පිළිගෙන ඇති අතර එම සමාගම් දෙකට අධිකරණය විසින් රුපියල් 40,000 දඩ මුදලක් නියමකර ඇති අතර, ‘ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අනුමැතිය ලබා ඇත’ යන අසත්‍ය වගන්තිය ආලේපනයේ ලේබලයෙන් ඉවත් කර ජනවාරි මස 20 වැනිදා නැවත අධිකරණයට වාර්තා කරන ලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *