හිටපු ලොක්කොන්ගේ සංචාරක වියදම් ලැයිස්තුව

හිටපු ජනාධිපතිවරුන් සිය විදේශ සංචාර සඳහා වැය කළ රුපියල් කෝටි ගණනාවක මුදල් ලැයිස්තුවක් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා අද (03) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළා.  

විදේශ විනිමය පනත යටතේ අද (03) පැවැති විවාදයට එක්වෙමින් ඔහු සඳහන් කළේ පසුගිය පාලකයන් මෙරට විදේශ විනිමය දැඩි ලෙස අවභාවිත කර ඇති බවයි.

හිටපු පාලකයන් මෙරට විදේශ විනිමය කාබාසිනියා කර ඇති බව චෝදනා කරමින් සංඛ්‍යාලේඛන ඇතුළත් දත්ත ලැයිස්තුවක් මහින්ද ජයසිංහ මහතා, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා 2010 – 2015 කාලයේදී  විදේශ සංචාර සඳහා රුපියල් කෝටි 357 ක මුදලක් වැය කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 – 2019 කාලයේදී  විදේශ සංචාර සඳහා රුපියල් කෝටි 38 ක මුදලක් වැය කර ඇති අතර  ගෝඨාභය රාජපක්ෂ මහතා 2020 – 2022 වසර දෙකක කාලයක් තුළ රුපියල් කෝටි 12 යි ලක්ෂ 60 ක මුදලක් වැය කර තිබෙනවා.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ  මහතා විදේශ සංචාර 16 ක් සඳහා රුපියල් කෝටි 53 ක මුදලක් වැය කර ඇති බව අනාවරණය වුණා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  මේ දක්වා සිදුකර ඇති විදේශ සංචාර 7 ක් සඳහා වැය වී ඇත්තේ රුපියල් එක් කෝටි හතළිස් නව ලක්ෂයක මුදලක් පමණක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙනවා .

කෙසේවෙතත් පසුගිය රජයන් ජනතා මුදල් සහ විදේශ විනිමය අනවශ්‍ය ලෙස වැය කළද, වර්තමාන රජය ලැබෙන සෑම විදේශ විනිමයක්ම රටේ අභිවෘද්ධිය වෙනුවෙන් සාර්ථක ලෙස ආයෝජනය කිරීමට පියවර ගනිමින් සිටින බව මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කළා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *