BPL පිටියේ නබි සහ පුතු ඉතිහාසගත වෙයි

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) ක්‍රිකට් ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවමින්, ඇෆ්ගනිස්ථාන සුපිරි ක්‍රීඩක මොහොමඩ් නබි සහ ඔහුගේ පුත්‍රයා වන හසන් අයිසඛිල් එකම කණ්ඩායමක් නියෝජනය කරමින් පන්දුවට පහරදීමේ දුර්ලභ අවස්ථාවක් පෙරේදා (11) සනිටුහන් කළා.

ලොව ප්‍රධාන පෙළේ විස්සයි20 ලීග් තරගාවලියක පියෙකු සහ පුතෙකු එකම ඉනිමක එකට පන්දුවට පහරදුන් ප්‍රථම අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක් කරමින්.

සිල්හෙට්හිදී පැවති මෙම තරගයේදී ඔවුන් දෙදෙනා ‘නොක්කාලි එක්ස්ප්‍රස්’ (Noakhali Express) කණ්ඩායම නියෝජනය කළා.

තම ප්‍රථම විදේශීය ලීග් තරගයට ක්‍රීඩා කළ 19 හැවිරිදි හසන් අයිසඛිල්, ‘ඩකා කැපිටල්ස්’ (Dhaka Capitals) කණ්ඩායමට එරෙහිව පන්දු 60කදී ලකුණු 92ක් රැස් කිරීමට සමත් වුණා.

ඔහුගේ ඉනිමට හතරේ පහර 7ක් සහ හයේ පහර 5ක් ඇතුළත් වූ අතර, එය තරගයේ ජයග්‍රහණයට ප්‍රධානතම හේතුව වූ බවයි විචාරකයින් පවසන්නේ.

ඔවුන් දෙදෙනා සිව්වන කඩුල්ල සඳහා පන්දු 30කදී ලකුණු 53ක සබඳතාවක් පැවැත්වූවා.

පියා වන මොහොමඩ් නබි පන්දු 13කදී ලකුණු 17ක් රැස් කළා.

තරගය ආරම්භයට පෙර තම පුත්‍රයාට නොක්කාලි කණ්ඩායමේ හිස්වැස්ම (Cap) පැළඳවූයේද මොහොමඩ් නබි විසින්ම වීම විශේෂත්වයක්.

නොක්කාලි එක්ස්ප්‍රස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 184ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඩකා කැපිටල්ස් කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණු 143ක් පමණි.

ඒ අනුව නොක්කාලි එක්ස්ප්‍රස් කණ්ඩායමට ලකුණු 41ක විශිෂ්ට ජයක් හිමි වුණා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *