රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර තිබෙන වැඩ වර්ජනය අසාධාරණ බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
එසේම ඔවුන් මෙසේ හැසිරෙන්නේ නම් අද දින ලබාදුන් සාකච්ඡාව අවලංගු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අද (09) පාර්ලිමේන්තුවේදීයි.
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසුවා,
”මේක ඉතාම අසාධාරණ වැඩවර්ජනයක්. පදනමක් නෑ. ඒ වෛද්‍යවරු දැන් පත්වීම ලබාගෙන තමන්ගේ සේවා ස්ථානයට යනවා. මං ඒ අයට කියන්න කැමතියි කරුණාකරලා බයවෙන්න එපා කවුරුවත්. ඔබ ගිහිල්ලා ඔබගේ සේවයට වාර්තා කරන්න. ඔබට අවශ්‍ය ආරක්ෂාව පොලීසිය පැත්තෙනුත් ඒ වගේම මහජනතාව පැත්තෙනුත් ලැබෙනවා. ඒවට කිසිකෙනෙකුට අත තියන්න බෑ. ඔබ රාජකාරී කරගෙන යන්න. ඔබට අපි සුභ පතනවා ඔබගේ වෘත්තීය ජීවිතය වෙනුවෙන්.
අපි ඔක්කොම එකතුවෙලා මේ රටේ හොඳ සෞඛ්‍ය සේවාවක් හදමු. මේ දේශපාලන අරමුණු වෙනුවෙන් කුඩා කල්ලියක් කරන වැඩ වර්ජනය තවදුරටත් කරගෙන යන්න එපා කියන ඉල්ලීමත් මම මේ වෙලාවේ කරන්න කැමතියි. කොහොමටත් මේ විදිහට නම් හැසිරෙන්නේ අද ලබා දීපු සාකච්ඡා මං කරන් නෑ.
සාකච්ඡාවක් ලබා දුන්නා ගිය ඉරිදා. පශ්චාත් සීමාවාසික පත්වීම් සම්බන්ධ ප්‍රශ්නේ ඉවරයි. එතනින් එහාට වෙන වෙන ගැටළු තියෙනව නම් සාකච්ඡා කරන්න. හැබැයි මේ විදිහට නම් හැසිරෙන්නේ ඒ සාකච්ඡා වැඩක් නෑ. ඒ නිසා ඒ සාකච්ඡාව GMOA එකටත් ලබා දෙන්නේ නැත. මේ වැඩ වර්ජනය අසාධාරණයි. අපි ඒක රජය හැටියට මුහුණ දෙන්න සූදානම්.
මේ පළමු පත්වීම ලබා දීමේදී රජය වරදක් සිදු කරලා තිබෙනවා නම් හොඳම වැඩේ තමයි අධිකරණයට යන එක, වැඩ වර්ජනය කරන්නේ නැතුව. එතකොට අධිකරණයට ගියාට පස්සේදී අධිකරණයෙන් දෙපැත්තේ නඩුව අහලා අධිකරණ නියෝගයක් ලබා දේවි. මේක නෙමෙයි ජනතාව ගොදුරු කරගන්න එපා. ඒක තමයි අපි ඉල්ලා හිටින්නේ. බොහොම ස්තූතියි ප්‍රශ්නේ ඉදිරිපත් කළාට.”



