“ආපදා වන්දි ගෙවීම ගමේ මාලිමා ප්‍රබලයින් එක්ක බෑ”

ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය මට්ටමේ දේශපාලඥයන්ගේ හා ග්‍රාමීය ක්‍රියාකාරීන්ගේ බරපතළ බලපෑම් හමුවේ ආපදා වන්දි ගෙවීම් මෙන් ම අදාළ රාජකාරි නිසියාකාරව හා සාධාරණව සිදු කිරීමට නොහැකි ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව පවතින බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු සුමිත් කොඩිකාර පවසයි.

ඊයේ (දෙසැ. 10) මහනුවරදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ, කිසිදු හෝ ආපදාවකට ලක් නොවූ ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය දේශපාලඥයන්ගේ හා ක්‍රියාකාරීන්ගේ හිතවතුන්ට පවා ආපදා ණය නිකුත් කිරීම සඳහා අදාළ ආකෘති ලබා දීමට පියවර ගන්නා මෙන් දිවයින පුරා ඇතැම් ප්‍රදේශවල ග්‍රාම නිලධාරීන් හට මෙම කණ්ඩායම් විසින් බරපතළ ආකාරයෙන් බලපෑම් සිදු කරන බව ය.

තවදුරටත් අදහස් පළ කළ ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු මෙසේ ද කීය.

රජය මගින් පිහිටුවා ඇති ග්‍රාමීය ප්‍රජා ශක්ති කමිටු සාමාජිකයෝ මේ වන්දි ගෙවීම් කටයුතුවලට බරපතළ ආකාරයෙන් මැදිහත් වෙනවා. ඒ අය ආපදා නොමැති අයට වන්දි ආකෘති පවා ලබා දීමට පියවර ගන්නවා. මේක ඉතාමත් ම නීති විරෝධී තත්ත්වයක්. ඒ අනුව, අපිට සාධාරණව රාජකාරි කර ගන්න විදිහක් නෑ. ලංකාවේ ඉන්න ජාතික ජන බලවේගයට සම්බන්ධ සියලු ම අයට වන්දි ගෙවන්න වෙයි මෙහෙම ගියොත්. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ අපිට ස්වාධීනව මේ කටයුතු
කරන්න අවස්ථාව දෙන්න කියලයි. අපි කිසිම දේශපාලන පක්ෂයකට නෑ. මේ රට අසීරුවට පත්ව ඇති අවස්ථාවේ ග්‍රාම නිලධාරීන් විශාල පිරිසක් පීඩාවට හා ආපදාවට පත්ව සිටියදී ඒවා නොසලකා මේ රාජකාරි කරන්නේ. අපි හැතැප්ම ගණන් පා ගමනින් යනවා. අපි මේ රාජකාරි සාධාරණව ඉටු කරන්න දරන වෙහෙස පිළිබඳව හොයන්න බලන්න කවුරුත් නෑ.

ග්‍රාම නිලධාරීන්ගේ ගෙවල් පවා විශාල වශයෙන් විනාශ වෙලා තිබෙනවා. එහෙම තියෙද්දී එම තත්ත්වයන් නොසලකා රටේ ජනතාවගේ ආපදා තත්ත්වයන් පිළිබඳව සාධාරණව රාජකාරි කරද්දී ඒකට මේ අය ඉඩ දෙන්නේ නෑ. ග්‍රාමීය ප්‍රජා සංවර්ධන කමිටුවලට ආපදා මුදල් ගෙවීම සම්බන්ධයෙන් සම්බන්ධ වීමට කිසිදු හෝ නීතිමය ප්‍රතිපාදනයක් නෑ. ඔවුන් සමග සහයෝගයෙන් කටයුතු කරන්න අපි සූදානම්. නමුත් ඔවුන්ට රාජකාරි බලය අතට ගන්න දෙන්න අපට හැකියාවක් නෑ.

රටේ ජනතාව ආපදාවෙන් දැඩි අසීරුතාවට පත්ව සිටින වෙලාවේ මේ තත්ත්වය මූලික කරගෙන වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න අපි සූදානම් නෑ. අපි මුලින් ම බලන්න ඕනේ රටේ ජනතාව ගැනයි. ලාල්කාන්ත ඇමතිතුමා කියනවා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන කටයුතු කරන්න කියලා. අපි ඒකට එකඟයි. නමුත් එයාල සීමාව ඉක්මවා කටයුතු කරනවා නම් අපි ඒකට එකඟ නෑ. අපේ රාජකාරිවලට මේ ප්‍රාදේශීය දේශපාලනඥයෝ, ජාතික ජන බලවේග ක්‍රියාකාරිකයෝ, ග්‍රාමීය ප්‍රජා සංවර්ධන කමිටු සාමාජිකයෝ සිදුකරන බලපෑම් අපි තරයේ හෙළා දකිනවා. ග්‍රාම නිලධාරීන්ට සාධාරණව නිදහසේ තම රාජකාරි සිදු කිරීම සඳහා අවශ්‍යය වාතාවරණය සකසා දෙන මෙන් අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර, ගංවතුරට හානි වූ පුද්ගලයන්ට රජයෙන් ලබා දෙන රුපියල් 25,000ක මුදල ලබාගැනීම සඳහා ග්‍රාම නිලධාරිවරයාට අමතරව තවත් අයැදුම් පත්‍රයක් වෙනත් පිරිසක් විසින් ලබා දීම හේතුවෙන් ගංවතුරට ලක් වූ අනුරාධපුර ජනතාව අසීරුතාවකට පත්ව සිටිති.

කොට්ඨාස සභාව ලෙස නම් කරන ලද අයැදුම්පත්‍රයේ එක් කොටසක් ග්‍රාම නිලධාරිවරයාටත් අනිත් කොටස කොට්ඨාස සභාවටත් ලෙස එක සමාන කොටස් දෙකක මේ අයදුම් පත්‍රය පිරවිය යුතුවේ. එහෙත් ඇතැම් ග්‍රාම නිලධාරීවරුන් එම නීත්‍යනුකූල නොවන අයැදුම් පත්‍රය පිළිනොගන්නා අතර ග්‍රාම නිලධාරිවරයාගේ අත්සන සහ නිල මුද්‍රාව තැබූ නීත්‍යනුකූල අයැදුම්පත්‍රයක් මේ වන විට ජනතාවට ලබා දී ඇත.

මෙසේ කොට්ඨාස අයැදුම් පත්‍රය ලෙස ලබා දෙන්නේ එක්තරා දේශපාලන පක්ෂයක කණ්ඩායමක් විසින් බව ද ආපදාවට ලක් වූ ජනතාව පෙන්වා දෙති.

එම දේශපාලන පක්ෂයේ පිරිස් ලබාදෙන අයැදුම් පත්‍ර ගංවතුරට හසු නොවූ තම හිතවතුන්ට ද ලබා දී ඇති බවට ජනතාව චෝදනා කරති.

මෙසේ නීත්‍යනුකූල නොවන අයුරින් රාජ්‍ය යාන්ත්‍රණයට අනවශ්‍ය අතගැසීම් සිදුකිරීම සම්බන්ධයෙන් විවිධ ව්‍යාකූල තත්ත්වයන් මෙන් ම අක්‍රමිකතා බොහෝ සේ සිදුවන්නට ඉඩ ඇති බවද රාජ්‍ය නිලධාරීහු පෙන්වා දෙති.

නියම ආකාරයට නොමැතිව මෙසේ නිල නොවන අයුරින් ගංවතුර ආධාර සඳහා කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව නීත්‍යනුකූලව කටයුතු කළ යුතුව ඇතැයි ද රාජ්‍ය නිලධාරීහු සඳහන් කරති.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *