සතොස ආයතනයේ සිදුවූ බව කියන දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් නිදහස් කරමින් කොළඹ මහාධිකරණය මීට පෙර දුන් නියෝගය බලරහිත කිරීමට අභියාචනාධිකරණය ඊයේ (04) පියවර ගත්තා.
ඒ අනුව, එම චෝදනාවලට අදාළව හිටපු අමාත්‍යවරයා ඇතුළු පිරිසට එරෙහිව පවරා ඇති සියලුම නඩු නැවත මුල සිට විභාග කරන ලෙස පී. කුමාරරත්නම්, දමිත් තොටවත්ත, කේ.එම්.එස්. දිසානායක, කේ.පී. ප්‍රනාන්දු සහ අන්නලිංගම් ප්‍රේමශංකර් යන විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළා.
සතොස ආයතනයේ සේවකයන් නිල රාජකාරිවලින් ඉවත් කර වෙනත් කටයුතුවල යොදවමින්, රජයේ මුදලින් ඔවුන්ට වැටුප් හා අතිකාල දීමනා ගෙවීම තුළින් දූෂණය නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු වැඩබලන අධ්යක්ෂ මොහොමඩ් සකීර් යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ නඩු 07ක් ගොනුකර තිබුණා.
කෙසේ වෙතත්, මෙම විමර්ශන ආරම්භ කිරීම සහ නඩු පැවරීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් තිදෙනාගේම අත්සන් නොමැති බවට විත්තියේ නීතිඥවරුන් මතු කළ මූලික විරෝධතාවක් පිළිගනිමින් කොළඹ මහාධිකරණය විසින් 2023 මැයි 19 වනදා මොවුන් නිදහස් කිරීමට තීන්දු කර තිබුණා.
මහාධිකරණයේ එම තීන්දුවට එරෙහිව අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා ඉදිරිපත් කළ ප්රතිශෝධන අයැදුම්පත සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අද දින සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පෙන්වා දුන්නේ, 1994 අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතේ 2 (8) වගන්තියට අනුව කොමිසමේ බලතල ක්‍රියාත්මක කිරීමට කොමසාරිස්වරුන් තිදෙනාම එකට සිටීම අනිවාර්ය නොවන බවයි.
කොමිසමේ සාමාජිකයෙකුට වෙන වෙනම අසුන්ගෙන වුවද එහි බලතල ක්‍රියාත්මක කළ හැකි අතර, එවැනි අවස්ථාවක එකී ක්‍රියාව මුළු කොමිෂන් සභාවේම ක්‍රියාවක් ලෙස සැලකෙන බව විනිසුරු මඩුල්ල පැහැදිලි කළා.
එසේම මහාධිකරණයට ඉදිරිපත් කරන අධිචෝදනා පත්‍රයක වලංගුභාවය ප්‍රශ්න කිරීමට මහාධිකරණයට බලයක් නොමැති බවත්, එය කළ හැක්කේ ඉහළ අධිකරණයකට පමණක් බවත් මෙහිදී අවධාරණය කෙරුණා.
තවද, සෑම විමර්ශනයකටම සහ නඩු පැවරීමකටම කොමසාරිස්වරුන් තිදෙනාගේම අත්සන් අත්‍යවශ්‍ය යැයි තීන්දු කිරීමෙන් සිදු වන්නේ රටේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය අනවශ්‍ය ලෙස ප්‍රමාද වීම බව ද අභියාචනාධිකරණය වැඩිදුරටත් සඳහන් කළා.



