මත්තල ගුවන්තොට ගොඩගන්න පෞද්ගලික හවුල්කාරීත්වයක්

දිගින් දිගටම පාඩු ලබමින් පවතින මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්ව (PPP) වැඩපිළිවෙළක් යටතේ පෞද්ගලික අංශයට පැවරීම සඳහා විශේෂ යෝජනාවලියක් සකස් කර ඇතැයි වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ‘ලංකාදීප’ පුවත්පතට පවසා තිබෙනවා.

අමාත්‍යවරයා පවසා ඇත්තේ, අදාළ යෝජනාවලිය නුදුරේදීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට නියමිත බවයි.

ඉන් අනතුරුව ගුවන්තොටුපළේ මෙහෙයුම් සඳහා එක්වීමට කැමති ආයෝජකයින්ගෙන් අභිලාෂ කැඳවීමට (EOI) කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

මෙම නව වැඩපිළිවෙළ යටතේ ගුවන් යානා අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථාන, ගුවන් නියමු පුහුණු කටයුතු සහ ඉන්ධන සැපයීම වැනි ක්ෂේත්‍ර කිහිපයක් සඳහා පෞද්ගලික ආයෝජන අවස්ථා විවෘත කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා පවසා තිබෙනවා.

එමෙන්ම අමාත්‍යවරයා අනාවරණය කර ඇත්තේ, මත්තල ගුවන්තොටුපළ සමඟ ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට පෞද්ගලික සමාගම් තුනක් මේ වන විටත් කැමැත්ත පළ කර ඇති බවයි.

අමාත්‍යාංශ ආරංචි මාර්ගවලට අනුව 2013 වසරේ සිට මේ දක්වා මත්තල ගුවන්තොටුපළ රුපියල් කෝටි 6,600 ක පාඩුවක් ලබා  තිබෙනවා.

එහි වාර්ෂික පාඩුව පමණක් රුපියල් කෝටි 200 ක් ලෙස ගණන් බලා තිබෙනවා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *