මහර බන්ධනාගාරයේ හදිසියේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට පියවර ගන්නවා වෙනුවට “උඹලා මරාගනිල්ලා” යනුවෙන් පවසමින් බන්ධනාගාර නිලධාරීන් එළියට පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇතැයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා චෝදනා කරනවා.
සිදුවූ ජීවිත හානි, තුවාල ලැබීම් සහ විශාල දේපළ විනාශය පැන යාමේ උත්සාහයක් ලෙස පෙන්වීමට බලධාරීන් උත්සාහ කළද, මෙයට ප්‍රධානතම හේතුව බන්ධනාගාර පද්ධතිය තුළ පවතින අධික තදබදය, අක්‍රමිකතා සහ පහසුකම් නොමැතිකම බව සේනක පෙරේරා මහතා පෙන්වා දෙනවා.
රැඳවියන් 991 දෙනෙකු සඳහා පමණක් පහසුකම් ඇති මහර බන්ධනාගාරයේ රැඳවියන් 4,447 දෙනෙකු අමානුෂික ලෙස රඳවා සිටීම, රැඳවියන්ට අවශ්‍ය තරම් ජලය, වැසිකිළි, ඖෂධ, වාට්ටු සහ සුබසාධන පහසුකම් නොමැති වීම, බන්ධනාගාර නිලධාරීන් පිරිසක් සිදුකරන විවිධ නීතිවිරෝධී ජාවාරම් යන කාරණා හේතුවෙන් මෙම නොසන්සුන්තාවය හටගෙන ඇති බවයි ඔහු සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැබෑ තොරතුරු වසා දැමීමට බලධාරීන් උත්සාහ කරන බවත්, තමන්ගේ නොහැකියාව සහ වගකීම් පැහැර හැරීම වසා ගැනීමට “කුමන්ත්‍රණ කතා” සහ “බිල්ලන්” මවන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
තදබදයට සහ අක්‍රමිකතාවලට පිළියම් නොයොදා බන්ධනාගාර පද්ධතිය පවත්වාගෙන යා නොහැකි බව පෙන්වා දුන් සේනක පෙරේරා මහතා, ජනප්‍රිය වැඩ නොකර ප්‍රශ්නය නිවැරදිව හඳුනාගෙන විසඳුම් ලබාදෙන ලෙසත්, රාජකාරිය පැහැර හැරි නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා ලෙසත් රජයෙන් ඉල්ලා සිටිනවා.
එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ,
“මේ බන්ධනාගාරයේ 991 යි රඳවන්න පුළුවන් මේ මහර බන්ධනාගාරයේ. හැබැයි මේ සිද්ධිය වෙනකොට 4,447 ක් මේ බන්ධනාගාරයේ සිටිනවා. ඉතින් මේකම තමයි මේ ප්‍රශ්නවලට හේතු වෙන්නේ. ඊට අමතරව මේ බන්ධනාගාරයේ නිලධාරීන් ඉන්නවා නොයෙකුත් ජාවාරම් කරගෙන යන, රැඳවියන් සම්බන්ධ කරගෙන ජාවාරම් කරගෙන යන අය ඉන්නවා. ඉතින් මේ අය, මේ අයගේ මේ ක්‍රියාකාරිත්වයත් මේ විනාශයට, මේ ආරවුලට හේතුවෙලා තියෙනවා කියන එක තමයි අපිට තොරතුරු ලැබෙන්නේ. මොකද අනිත් අතට බන්ධනාගාරයේ මේ 4,400 ගාණකට යන්න පහසුකම් නෑ. වැසිකිළි පහසුකම් නෑ. ඒගොල්ලන්ට අනිකුත් ඖෂධ ඒ පහසුකම් නෑ. අනිත් පැත්තෙන් ඒගොල්ලන්ට ඒ වාට්ටු පහසුකම් නෑ. අනිකුත් සුබසාධන පහසුකම් නෑ. මේ 900 ගාණකට විතරයි ඒවා තියෙන්නේ. ඉතින් මේ තත්ත්වය තුළ දැන් මේ වෙනකොට මේ බන්ධනාගාරයේ රැඳවියෝ තමන්ගේ ගෙදර ඥාතීන්ට කියන්නේ අපිට කෑම ගේන්න එපා කියලා. මොකද කෑම ගෙනාවොත් ඒගොල්ලන්ට වැසිකිළි යන්න වෙනවා කෑවට පස්සේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ ඇතුළේ නියම තත්ත්වය වෙන්නේ. අනිත් පැත්තෙන් මේ රැඳවියන්ට වතුර නෑ. මේ රැඳවියන්ට ගෙදර අයට සිදුවෙලා තියෙනවා වතුර ගේන්න. ඊයේ ඔය සිද්ධිය වෙන අවස්ථාවේ ඒ රැඳවියන්ගේ මවක් ඒ බලන්න ගිහිල්ලා, ඒ මව ගෙනිල්ලා තියෙන ප්‍රධාන දෙයක් තමයි ලීටර් පහේ වතුර එකක්. මොකද ලීටර් පහක් ගෙනියන්නේ හෝදගන්න. ඒ තමන්ගේ ඒ අවශ්‍ය ඒ සේදීම් වලට වතුර නැති එකටත් මේ රැඳවියන්ගේ ඥාතීන්ට සිදුවෙලා තියෙනවා ඒකට උත්තර හොයන්න.
ඉතින් වගකියයුතු අමාත්‍යවරයෙක් විදිහට, වගකියයුතු රජයක් විදිහට මෙතනදී අපි වගකීම භාරගත්තා කියලා නිකන් අර අවුරුද්දට සියලු ප්‍රශ්න ඉවරයි ආයුබෝවන් කියලා සමාව ගන්නවා වගේ කියලා හරියන්නේ නෑ. මොකද මේක මේ බන්ධනාගාර පද්ධතිය තුළ ඉන්න රැඳවියන් සැබෑවටම මුහුණදෙන ප්‍රශ්න සම්බන්ධයෙන් ඒ වැඩපිළිවෙළක් ඇතුව තමයි ඒ වගවීම, ඒ වගකීම භාරගත යුත්තේ. ඉතින් ඒ නිසා අපි බලධාරීන්ට කියනවා ජනප්‍රිය වැඩ කර කර ඉන්නේ නැතුව ප්‍රශ්නය හරියට අඳුරගන්න. ප්‍රශ්නය හරියට අඳුරගෙන ඒකට උත්තර දෙන්න කියන එක අපි මේ අවස්ථාවේදී සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විදිහට ප්‍රකාශ කර සිටිනවා. ඒ වගේමයි මේ සිද්ධියේදී යම්කිසි නිලධාරීන් පිරිසක් තමන්ගේ රාජකාරිය නොකර හැරීමක් කරලා තියෙනවා. එතකොට ඒ අය සම්බන්ධයෙන් ඒ අවශ්‍ය පියවර ගන්න කියන එක අපි නැවත නැවතත් රජයට කියනවා. මීගමුව බන්ධනාගාරයේදී ඒ ඇතිවෙච්ච සිද්ධියේදී ඒ අර කුඩා කවුළුවෙන් වෙඩි තැබීම සම්බන්ධයෙන් ඉතාමත් ලිහිල් පිළිවෙතක් තමයි මේ බලධාරීන්, මේ අමාත්‍යංශය අනුගමනය කරනවා කියලා අපිට පේන්නේ. ඉතින් ඒ වගේ කටයුතු කරනවා නම් මම හිතන්නේ මේ නිලධාරීන් ඊට වඩා මේ රටේ තියෙන නීතිවිරෝධී දේවල් එහෙම නැත්නම් නීතියෙන් වැරදි විදිහට තියෙන දේවල් කිරීම ගැන අපිට පුදුම වෙන්න දෙයක් නෑ. මොකද අපිව බේරගන්න අහවලා ඉන්නවා කියන එක දැන් මේ වෙනකොටත් ඔවුන්ට තියෙනවා. ඉතින් ඒක නිසාම තමයි මීගමුව බන්ධනාගාරයේ සිද්ධියෙන් පස්සේ බැහැරව එහෙම නැත්නම් වෙනත් බන්ධනාගාරවලට අනුයුක්ත කරපු ඒ රැඳවියන්ට ඒ වධහිංසාව භය නැතුව ඒ බන්ධනාගාරවල ඒ අය ලබා දුන්නේ. ඉතින් ඒකට එහෙම රාජ්‍ය ආශිර්වාදය ඇතුව වධහිංසනය සිදුකරන්න පසුබිමක් හදනවා නම් මං හිතන්නේ රජයෙන් අපි ඒක නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. රජයේ ආයතන වලින් ඒක නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. ඒ හින්දා ඉතාමත් බුද්ධිමත්ව මේ ප්‍රශ්නෙට බහින්න කියන එක අපි ඉල්ලා සිටිනවා…”



