අබිරහස් ලෙස මියගිය ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මරණ පරික්ෂණයට අදාලව සාක්ෂි ලබාදීම සඳහා ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න සහ නීතීඥ උදාර මුහන්දිරම් යන දෙදෙනාට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (02) සිතාසි නිකුත් කළා.
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණයට අදාලව සාක්ෂි අංක 19 සහ 20 යන සාක්ෂිකරුවන් වන මෙම නීතිඥවරුන් දෙදෙනාගෙන් සාක්ෂි ලබා ගැනීමට අවශ්‍යද නැද්ද යන්න නියෝගය ලබා දෙමින් මහේස්ත්‍රාත්වරයා මෙලෙස සිතාසි නිකුත් කළා.
මෙම සිද්ධිය අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිඥ සංගමය වෙනුවෙන් නීතිඥ ලක්ෂාන් අබේවර්ධන අධිකරණයේ පෙනී සිටියා.
පිටු නවයකින් යුත් නියෝගය අධිකරණයේදී කියවා දෙනු ලැබුවා.
1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 370/5 වගන්තිය ප්‍රකාරව සාක්‍ෂි අංක 19 සහ 20 යන නීතීඥ දෙපළට කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීමට අවශ්‍ය බව මෙහිදී නියෝගයේ සඳහන්ව තිබුණා.
රජයේ නීතිඥ, අධිනීතීඥවරයෙකුට හෝ නොතාරිස්වරයකුට තම සේවාව ලබාදෙන සේවා දායකයාගේ වාචික හෝ ලිඛිත දේවල් සම්බන්ධයෙන් රහස්‍ය භාවය ආරක්ෂා කළ යුතු බව අපරාධ නඩු විධාන සංග්‍රහයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණ රීති පනතේ දක්වා තිබෙන බව ද එම නියෝගයේ සඳහන්ව තිබුණා.
නමුත් මෙම සිද්ධියට අදාලව සාක්ෂි ලබාදෙනු ලැබූ පළමුවැනි සාක්ෂිකාරිය වන ප්‍රියංගි අනුෂ්කා, තුන්වන සාක්ෂිකරු වු අරවින්ද ද සිල්වා සහ 13, 15, 16,17 යන සාක්ෂිකරුවන් අධිකරණයේදී සාක්ෂි ලබාදෙමින් සඳහන් කර තිබුණේ 2026 මැයි 07 වන දින මෙම ජනාධිපති නීතිඥවරයාගේ කාර්යාලයට කපිල චන්ද්‍රසේන නඩු කටයුත්තක් සඳහා උපදෙස් ලබා ගැනීමට ගොස් තිබූ බවයි.
තවද මෙම සිද්ධියට අදාලව ප්‍රියන්ත නමැති නීතිඥවරයා සාක්ෂි ලබාදෙමින් සඳහන් කර සිටියේ මැයි 07 දින රාත්‍රියේ 19 සහ 20 යන නීතිඥවරුන් විසින් තමාට මැයි 08 වනදින උදෑසන අරවින් ද ද සිල්වාගේ නිවෙසට යෑමට උපදෙස් ලබා දී තිබූ බවයි.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 370 (5) වගන්තිය ප්‍රකාරව සහ ශ්‍රේෂ්ඨාධිකරණ රීති පනත අනුව සාක්ෂි ලබා දීමට අවශ්‍ය නොවන බව පෙනී ගියද කපිල චන්ද්‍රසේනට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට අදාලව ඇප මුදල් තැන්පත් කිරීම සම්බන්ධයෙන් 19 වන සාක්ෂිකරු වන උදාර මුහන්දිරම් නමැති නීතිඥවරයාගේ උපදෙස් පරිදි අරවින්ද ද සිල්වා ක්‍රියා කර ඇති බවට අධිකරණයේදී සාක්ෂි ලබා දී තිබෙන බව එම නියෝගයේ සඳහන් වුණා.
ඒ අනුව පෙනී යන්නේ මෙම සිද්ධියේ 19 සහ 20 යන සාක්ෂිකාර මෙම නීතිඥවරුන් දෙදෙනා සිද්ධියට අදාළ මරණ පරීක්ෂණය සම්බන්ධයෙන් සාක්ෂි ලබා ගැනීමට අවශ්‍ය බවයි යන්න ද එම නියෝගයේ දක්වා තිබුණා.
1995 අංක 14 , 126 වගන්තියේ මෙම සිද්ධියට අදාලව කුමන ප්‍රතිපදාන අඩංගු විය යුතුද යන්න නියෝගයේ දක්වා තිබෙන බවද එම නියෝගයේ සඳහන්ව තිබුණා.
ශ්‍රේෂ්ඨාධිකරණ රීති පනත අනුව නීතීඥයෙකුට හෝ නොතාරිස්වරයෙකුට 126(1) වගන්තිය ප්‍රකාරව ස්වකීය සේවා දායකයා වෙනුවෙන් ඔහුගේ රාහස්‍ය භාවය කිසිවිටක අනාවරණය නොකළ යුතු බවයි එහි දක්වා තිබුණේ.
නමුත් ඉහත සඳහන් දේ අනාවරණය කිරීම මෙම විමර්ශනයට බාධාවක් නොවිය යුතුයි. යම් අපරාධයක් හෝ වරදක් අනාවරණය වන කරුණක් නම් සාක්ෂි ලබාදීමට සාක්ෂිකරුවන්ගේ කැඳවීම ඉතා වැදගත්. සාක්ෂි ආඥා පනත අනුව සේවා දායකයාට ලබා දෙන අවවාදයක අන්තර්ගත කරුණු කිසිම නීතිඥවරයෙකු වෙනත් අය වෙත අනාවරණය නොවිය යුතු බව දක්වා තිබුණත් යම් අපරාධයක් හෝ වංචාවක් අනාවරණය වන්නේ නම් එය 126(1) (අ,ආ) දක්වා තිබෙන වගන්ති ප්‍රකාරව එම කොන්දේසිය අදාල නොවන බව එම නියෝගයේ දක්වා තිබුණා.
ඒ අනුව 19 සහ 20 යන සාක්ෂිකරුවන්ට 1979 අංක 15 අපරාධ නඩු විධාන සංග්‍රහය 370(ආ) වගන්තිය ප්‍රකාරව සාක්ෂි කැඳවීමට තීරණය කරන බව නියෝගයේ සඳහන් වී තිබුණා.
තවද සාක්ෂි අඥා පනතේ 126 වගන්තිය සහ ශ්‍රේෂ්ඨාධිකරණ පනත ප්‍රකාරව කපිල චන්ද්‍රසේන ලබාදෙන අවවාදයක් හෝ ලිඛිත හෝ වාචිකව දෙවල් අනාවරණය නොකිරීමේ අයිතිය එම නීතිඥවරුන්ට ඇති බවද තීරණය කරන බව එම නියෝගයේ සඳහන් ව තිබුණා.
සිද්ධියට අදාල නඩුව ලබන 05 වැනිදා යළි කැඳවීමට නියමිතයි.



