වත්මන් කැබිනට් අමාත්‍යවරයෙකුගේ දියණියක් සිය ආචාර්ය උපාධිය (PhD) හැදෑරීම සඳහා එංගලන්තයේ නිව්කාසල් ප්‍රදේශයට ගොස් ඇති බවත්, ඇය එහිදී නවාතැන් ගෙන සිටින්නේ “රාජා” නැමැති ප්‍රකට ඩයස්පෝරා ක්‍රියාකාරිකයෙකුගේ නිවසක බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අනාවරණය කළේය.
අද (19) පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේය.
රටක දරුවෙකු තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විදේශගත වීම කිසිසේත්ම ගැටලුවක් නොවන බව මෙහිදී පැහැදිලි කළ මන්ත්‍රීවරයා, නමුත් මෙරට දේශපාලන බලධාරීන් පවත්වාගෙන යන ද්විත්ව ස්ථාවරය මෙයින් මනාව පැහැදිලි වන බව ද පෙන්වා දුන්නේය.
විශේෂයෙන්ම වත්මන් රජයේ බලධාරීන් එක් පැත්තකින් රණවිරුවන් සමරන බව පවසමින් , අනෙක් පැත්තෙන් රහසිගතව මෙලෙස ඩයස්පෝරා සංවිධාන සහ ඔවුන්ගේ ක්‍රියාකාරීන් සමඟ සමීප ගනුදෙනු පවත්වන බවත් මන්ත්‍රීවරයා චෝදනා කළේය.
එබැවින් තමන් කාගේ පාර්ශ්වයේද? නැතිනම් දෙපාර්ශ්වයම සමඟ සිටිනවාදැයි පවසන ලෙසද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.



