“ජනපති “ජනපති අනුර ‘බලය’ අත් නොහැරීම නැමැති දුෂණය සිදු කරනවා..”

අනුර කුමාර ජනාධිපතිවරයා බලය වෙනුවට, බලය අඛණ්ඩව පවත්වාගෙන යාම නැමැති දූෂණය සිදු කිරීමට උත්සාහ දරන බවත්, ඔහු කළ යුතු වන්නේ ජේ,ආර් ගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ගෙන ඒම නොව
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට ජනතාවට පොරොන්දු වූ නව ව්‍යවස්ථාව ගෙන ඒම බවත් සජබ කෘත්‍යාධිකාරි මණ්ඩල සභික විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේය.

අගවිනිසුරු ධූරකාලය වැඩි කිරීමෙන් පමණක් අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩි කර නොහැකි බවත් , ප්‍රාථමික නීති පද්ධතියේ පවතින අපරාධ නඩුවිධාන සංග්‍රහය, දණ්ඩ නීති සංග්‍රහය, සිවිල් නඩුවිධාන සංග්‍රහය, සාක්ෂිය ආඥා පනත, ඇප පනත ආදිය කාලයට ගැලපෙන පරිදි
වහා සංශෝධනය විය යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.

කොළඹ දී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළ චමල් සංජීව මහතා තවදුරටත් කියා සිටියේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා
අධිකරණ ප්‍රමාණය වැඩිකොට, නව විනිසුරුවන් පත් කරන වේගය කාර්යක්ෂම කිරීම මෙන්ම ප්‍රාථමික මට්ටමේ අධිකරණ ක්‍රියාවලිය වේගවත් කළ යුතු බවයි.

එසේම බන්ධනාගාර තදබදය අඩු කිරීම වෙන්නට පැලැස්තර විසඳුම් යෙදීමට අධිකරණ අමාත්‍යවරයා කටයුතු කිරීම ඔහුගේ ප්‍රායෝගික භාවිතාවේ තරම පෙන්වන බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේ ය.

බන්ධනාගාර තදබදය අඩු කිරීම සඳහා ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදු විය යුතු බව පවසන ඒ මහතා තවදුරටත් මෙසේද කීය.

අපේ රටේ මුළු බන්ධනාගාර පද්ධතියේම ඉඩකඩ තියෙන්නේ රැඳවියන් 10,000කට විතරයි. හැබැයි මේ වෙනකොට ඒවා ඇතුළේ 39,000කට වඩා රඳවලා ඉන්නවා.

රැඳවියන්ට නාන්න වතුර ටික නැතිව, නිදාගන්න ඉඩක් නැතිව, වැසිකිළි යන්න නැතුව, කන්න හරියට කෑම ටික නැතිව සිරකරුවන් ඉන්නකොට පුංචි තල්ලු කිරීමකින් පවා මහා කැරැල්ලක් නිර්මාණය වෙන්න පුළුවන්.

බන්ධනාගාරවල ඉන්න 39,000න් 28,000ක්ම (ඒ කියන්නේ 75%ක්ම) තවම නඩුවක් විභාග වෙලා වරදකරුවන් වුණු අය නෙවෙයි. ඒ අය නඩු ඉවර වෙනකම් රක්ෂිත බන්ධනාගාරගත කරලා ඉන්න අයයි.

2023 අවුරුද්දේ විතරක් හිරේ ගිය අයගෙන් 67% ක්ම හිරේ ගියේ තමන්ට නියම වුණු දඩ මුදල ගෙවාගන්න සල්ලි නැති නිසා. මේක බන්ධනාගාර ප්‍රශ්නයකට එහා ගිය, “දුප්පත්කමට නිසා දඬුවම් ලැබීමේ” ප්‍රශ්නයක්.

සල්ලි තියෙන පුද්ගලයින් ඇප අරන් එළියට යද්දී, ඇප තියන්න සල්ලි නැති පුද්ගලයා බන්ධනාගාරය ඇතුලේ හිර වෙනවා.

මත්ද්‍රව්‍ය මෙහෙයුම් කෙරෙන කාලයට දවසකට 700ක් – 800ක් විතර අත්අඩංගුවට ගන්නවා. ඒවා ගැන පොලීසිය මාධ්‍ය නිවේදන නිකුත් කරනවා.

මහර බන්ධනාගාරයේ 2020 දී ගැටුම ඇති වෙනකොට රැඳවියන් 2,793කට එහි ඉඳලා තිබුනා.බන්ධනාගාර වාර්තාවලට අනුව නිලධාරීන් 270 ගණනක් තමයි එහි රාජකාරි කරලා තිබුණේ.

අදටත් බන්ධනාගාරවල නිලධාරී පුරප්පාඩු 1,300කට වඩා තියෙනවා. නිලධාරීන් මදි වුණාම බන්ධනාගාර පාලනය කරන්න ඇතුළේ ඉන්න දරුණු ගනයේ රැඳවියන් උත්සාහ ගන්නවා.

රජය මේවා ගැන වඩාත් සැලකිල්මත් විය යුතුයි. මම හිතන්නේ කොයි ආණ්ඩුවක් බලයට ආවත් ඉක්මනින් කරන්න ඕනෙ දේවල් කිහිපයක් තියෙනවා.

ඇප නීති සහ රජයේ රසපරීක්ෂක වාර්තා, රජයේ තක්සේරු වාර්තා ප්‍රමාදය වහාම විසඳන්න අවශ්‍යයි.

කුඩා ප්‍රමාණයෙන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නන් බන්ධනාගාර ගත කිරීම වෙනුවට ඔවුන් පුනරුත්ථාපනය සඳහා යොමුකරන්න විදිමත් ක්‍රමවේදයක් අවශයයි.

දඩ ගෙවාගන්න බැරි පුද්ගලයන් දිගටම බන්ධනාගාර ගත කිරීම වෙනුවට ඔවුන්ට විකල්ප දඬුවම් ක්‍රමවේද හඳුන්වා දී ඔවුන් සුදුසු පරිදි සමාජගත කළ යුතුයි.

බන්ධනාගාර නිලධාරීන්ගේ හිඟයට ඉක්මනින් විසඳුම් ලබාදීම අවශයයි.

මීගමුවේ සිදුවීමෙන් පස්සේ ආණ්ඩුව යෝජනා කළේ පරණ බන්ධනාගාර ආයෙත් ඇරලා සිරකරුවන් එහා මෙහා කරන්න. ඒක ප්‍රායෝගික විසඳුමක් නෙමෙයි, හිරගෙවල් ඇරලා සමාජයක් හදන්න බෑ. සමාජයක් ආචාරශීලි කරන්න හිරගෙවල් අඩු කරලා, මිනිස්සුන්ගේ ප්‍රශ්ණවලට විසඳුම් සෙවිය යුතුයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලදී ද හිටපු පොලිස්පතිවරයා හෝ ආරක්ෂක ලේකම්වරයාට මරණ දණ්ඩනය නියම කිරීමෙන් පමණක්
වින්දිතයන්ට සාධාරණය ඉෂ්ට කළ නොහැකියි.

ඒ සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණ කඩිනමින් සිදුකොට කුමන්ත්‍රණය පිටුපස සිටින සියලු දේශපාලකයන් සහ නිලධාරීන් අනාවරණය කළ යුතුයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *