පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් සහ විපක්ෂයේ කණ්ඩායම් සිදුකරන ප්‍රකාශ, තමන් වෙත එල්ල වන චෝදනාවලින් ගැලවීමේ උත්සාහයක් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
විශේෂයෙන්ම පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මෑතකදී කළ ප්‍රකාශයන් සහ විපක්ෂයේ චෝදනා පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, රජය පුද්ගලික මතයන් පස්සේ හඹා නොයන බවත්, විද්‍යාත්මක සහ සාක්ෂි සහිත විමර්ශනයක් මගින් සත්‍යය එළිදරව් කරන බවයි.
ප්‍රහාරය සිදුවූ යහපාලන ආණ්ඩු සමයේ මෙන්ම ඉන්පසු බලයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන ජනාධිපතිවරුන්ගේ පාලන කාලයන්හිදී ද ජේ. විනිසුරු ජනක ද සිල්වා මහතාගේ විමර්ශන වාර්තාව දීර්ඝ කාලයක් සඟවා තැබූ බව අමාත්‍යවරයා චෝදනා කළා.
එමෙන්ම පිටු 37,500කින් සහ වෙළුම් 87කින් සමන්විත මෙම වාර්තාව මහජනයාට සහ නීතියට වසන් කර තිබුණූ නමුත් වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම වාර්තාව අධ්‍යයනය කිරීමට විශේෂ කණ්ඩායම් 10ක් යොදවා ඇති බව අමාත්‍යවරයා පැවසුවා.
මෙම වාර්තාවේ සඳහන් අපරාධ චෝදනා යටතේ නඩු ගොනු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කිරීමට මේ වන විටත් කටයුතු සූදානම් කර ඇති බව අමාත්‍යවරයා හෙළි කළා.
ආනන්ද විජේපාල මහතා පවසන්නේ, ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත්භාවයෙන් සිටි බවට සහ ආධාර අනුබල දුන් බවට ලැබුණු සාක්ෂි මත දැනටමත් පුද්ගලයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, කුමන්ත්‍රණය කළේ කවුද යන්න අනාගතයේදී රටටම හෙළිවන බවයි.
මේ අතර පවතින උත්සව සමය වෙනුවෙන් මහජන ආරක්ෂාව තහවුරු කිරීමට පොලිසිය සහ යුද්ධ හමුදාව ඒකාබද්ධව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත්, එය අප්‍රේල් 18 වනදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
එමෙන්ම, බූස්ස බන්ධනාගාරයේ සිටි ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් හත් දෙනෙකු අලුතින් ස්ථාපිත කළ වැලිසර බන්ධනාගාරයට මාරු කළ බව පැවසූ අමාත්‍යවරයා, බන්ධනාගාර තුළ සිදුවන දූෂණ සහ අක්‍රමිකතා මැඩලීම සඳහා විශේෂ කාර්ය බලකාය (STF) යොදවා වැටලීම් සිදුකරන බව ද පවසනවා.
අධිකරණ අමාත්‍යාංශය සමඟ සම්බන්ධ වෙමින් බන්ධනාගාර පද්ධතියේ පාලනය තවදුරටත් දැඩි කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් කියා සිටියා.



