ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ වත්මන් නායකත්වය තරම් උගත්, බුද්ධිමත් මෙන්ම රටටත් ජනතාවටත් ආදරය කරන වෙනත් විධායක ජනාධිපතිවරයෙකු හෝ අගමැතිවරයෙකු නොසිටි බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසනවා.
ඔහු මෙම අදහස් පල කළේ, ඊයේ (15) පැවති ගාල්ල ‘අදිටන සාමුහික හමුවේ’දී අදහස් දැක්වමින්.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ඉදිරි වසර 25 හෝ 30 ඇතුළත මැතිවරණයකට පැමිණ ජයග්‍රහණය කළ හැකි වෙනත් කිසිදු දේශපාලන නායකයෙකු හෝ නැගී එන නායකයෙකු වත්මන් දේශපාලන තලයේ නොමැති බවයි.
වත්මන් ආණ්ඩුව මාස 22 ක කාලය තුළ සිදුකළ වැඩපිළිවෙළ සහ අනුගමනය කළ ප්‍රතිපත්ති පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, පවතින පක්ෂ දේශපාලනය තුළ 159 දෙනෙකුගෙන් යුත් තම කණ්ඩායමේ කිසිදු අයෙකුට එරෙහිව දූෂණ චෝදනාවක්, වරදක් හෝ වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල කළ නොහැකි බවත්, සියලුදෙනාම තමන්ගේ යුතුකම අකුරටම ඉටුකරන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ,
“මේ ලංකා දේශපාලන ඉතිහාසයේ කවුද ඉන්නේ උගත්, බුද්ධිමත් විදිහට අර නීතීඥ සංගමය ආවම කතා කරපු හිටපු විධායක ජනාධිපතිවරයෙක් හෝ අගමැතිවරයෙක්? ඒ තරම් මේ රටට ආදරෙයි මහ ජනතාවට ආදරෙයි, අපේ ප්‍රතිපත්තියට ආදරෙයි.
කවුරු හරි නැගිටලා කියන්න ඉදිරි අවුරුදු 25 කට 30කට ජන්දෙකට ඇවිල්ලා දේශපාලන වශයෙන් දිනන්න ඉන්නවා නම් දේශපාලන නායකයෙක්, නැගී එන නායකයෙක් කවුරු හරි ඉන්නවා නම් කියන්න.පක්ෂ දේශපාලනය ගත්තොත් අපේ මේ වැඩපිළිවෙළත් එක්ක අපේ ආණ්ඩුවත් එක්ක මේ මාස 22 කරපු වැඩත් එක්ක මේ 159 දෙනාගෙන් එක්කෙනෙක් හරි ඉන්නවා නම් කියන්න දූෂණ චෝදනාවකට, වරදකට, වෙන හොරකමක් කරලා කවුරු හරි ඉන්නවද කියලා කියන්න. ඒ තරම් අපේ යුතුකම අපි අකුරටම පිළිපදිනවා.”



