22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා අභියාචනාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව ඉහළ නංවා, එම අධිකරණ වාර පළාත් මට්ටමින් පැවැත්වීමට රජය සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.
‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරන පරිදි, දැනට කොළඹට පමණක් සීමා වී ඇති අභියාචනාධිකරණ බලය පළාත් මට්ටමට ව්‍යාප්ත කිරීම සඳහා විනිසුරුවරුන් සංඛ්‍යාව 24 දක්වා ඉහළ නැංවීමට යෝජිතය. අභියාචනාධිකරණය පළාත් මට්ටමින් ස්ථාපිත කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන සලසා තිබුණ ද, ප්‍රමාණවත් විනිසුරුවරුන් සංඛ්‍යාවක් නොමැති වීම හේතුවෙන් එය මෙතෙක් ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබුණි.
නව විනිසුරුවරුන් සිව්දෙනෙකු පත් කිරීමත් සමඟ, අදාළ පළාත්වල පවතින නඩු සංඛ්‍යාව අනුව ඇතැම් පළාත්වල වසරක කාලයක් හෝ ස්ථිරවම අභියාචනාධිකරණ වාර පැවැත්වීමට හැකි වනු ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු එම පුවත්පතට පවසා තිබේ.
මේ සම්බන්ධයෙන් වන 22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම සංශෝධන මගින් මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 110 සිට 120 දක්වා ඉහළ නැංවීමට ද, ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට මහේස්ත්‍රාත් අධිකරණ දක්වා වන සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ද යෝජනා කර ඇත.
දැනට අධිකරණ පද්ධතිය තුළ ගොඩගැසී ඇති ලක්ෂ 11කට අධික නඩු ප්‍රමාණය කඩිනමින් අවසන් කිරීම රජයේ මූලික අරමුණ වී තිබේ.
මෙම පනත් සම්මත වුවහොත් විනිසුරුවරුන් 400කට අධික පිරිසකට සේවා දිගු හිමිවන බවත්, මෙය කිසිදු පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් ගෙන එන ලද්දක් නොව සමස්ත පද්ධතියේ යහපත උදෙසා ගත් පියවරක් බවත් රජය අවධාරණය කරයි.



