අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රටට සිදුව ඇති දැවැන්ත විනාශය හමුවේ, ආණ්ඩුව තවදුරටත් ජාතික ව්‍යසන තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට අපොහොසත් වීම පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (27) පාර්ලිමේන්තුවේදී දැඩි විවේචනයක් එල්ල කළේය.
ගිණිකොන දිග මුහුදේ කිලෝමීටර් 170කට එහා ගැඹුරු පීඩන අවපාතයක් නිර්මාණය වී සුළි සුළඟක් බවට පත්වෙමින් තිබෙන මොහොතක පවා රජය නිහඬව සිටීම, ව්‍යසන කළමනාකරණය පිළිබඳව රජයේ ඇති අණපනත් පිළිබඳ අවබෝධයක් නොමැතිකම පැහැදිලි කරන බව විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙන්වා දුන්නේ, 2005 අංක 13 දරන ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනතේ 11 වැනි වගන්තිය යටතේ ව්‍යසන තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම තුළින්, පීඩනයට සහ අසහනයට පත් පවුල්වලට ඉතාම ඉක්මනින් සහන ලබා දීමේ හැකියාව රජයට ඇති බවයි.
“මේ තරම් දැවැන්ත විනාශයක් සිදුව ඇති මොහොතකත් රජය ව්‍යසන තත්ත්වයක් ප්‍රකාශයට පත් නොකිරීම කණගාටුවට කරුණක්. මම ජනාධිපතිතුමාට පවා මේ ගැන කීවත්, තවමත් එය ඉටු කර නැහැ. අවම වශයෙන් රජය මේ ගැන ඇති අණපනත් ගැනවත් දන්නේ නැහැ!”
විපක්ෂනායකවරයා වැඩිදුරටත් කියා සිටියේ, අදාළ නිලධාරීන්ට වහාම උපදෙස් ලබා දී, ව්‍යසන තත්ත්වයක් ප්‍රකාශයට පත් කර, ජීවිත අහිමි වූවන්ට, දේපල අහිමි වූවන්ට සහ ජීවනෝපායන් අහිමි වූවන්ට අවශ්‍ය සහන ලබා දෙන ලෙසයි.
විපක්ෂ නායකවරයා අවධාරණය කළ තවත් වැදගත් කරුණක් වූයේ, ආපදාවට පත් ජනතාවට සහන සහ වන්දි ලබා දීමේදී දැනට ක්‍රියාත්මක වන ‘යල්පැනගිය චක්‍රලේඛ’ වහාම ඉවත් කර, යුගයට ඔබින ආකාරයට ඒවා ක්‍රියාත්මක කළ යුතු බවයි.
ඒ මහතා පෙන්වා දුන්නේ, අදටත් අම්පාර දිස්ත්‍රික්කයේ ආපදාවලට ලක්වූවන්ට නිසි සහන නොලැබී ඇති බවත්, ව්‍යසන කළමනාකරණ හා ආපදා කළමනාකරණ පනත් පවා කාලෝචිත ලෙස වෙනස් විය යුතු බවත්ය.
ව්‍යසන කළමනාකරණ ක්ෂේත්‍රයේ ඇති ව්‍යුහාත්මක ගැටලු පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා, කාලගුණ අනතුරු ඇඟවීම් කිරීමේදී දැනට රටට ඇති ඩොප්ලර් රේඩාර් ක්‍රමයේ දුර්වලතා පෙන්වා දුන්නේය.
“අපේ රටට ඇති ඩොප්ලර් රේඩාර් ක්‍රමය හරහා දැනට ඇති කාලගුණ තත්ත්වය මෙන්ම අනතුරු ඇඟවීම් කිරීමේ දත්ත ලැබෙනවා. පුත්තලමේ ආරම්භ කළා සේම, පොතුවිල්වල ද මෙය ආරම්භ කළ යුතුයි.”
ඒ මහතා පැවසුවේ, ජපන් රජයෙන් මෙම ඉල්ලීම කළහොත් ඔවුන් අදාළ ආධාර ලබා දීමට සූදානම් බවත්, විපක්ෂයක් ලෙස ජපන් තානාපතිවරයා සමග සාකච්ඡා කර ඒ සඳහා උදව් කිරීමට තමන් සූදානම් බවත්ය.
එසේම අයහපත් කාලගුණය හේතුවෙන් ජීවිත අහිමි වූ, උන්හිටිතැන් අහිමි වූ සහ හානියකට ලක් වූ ජනතාවට ශෝකය පුද කළ විපක්ෂ නායකවරයා, ආපදාවට පත් ජනතාවට උදව් කරන රජයේ නිලධාරීන්ට සහ ආරක්ෂක අංශවලට සිය ස්තූතිය පුද කරමින්, පසු ආපදා ප්‍රතිචාරය මන්දගාමී වීම පිළිබඳව වහාම අවධානය යොමු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.



