රාජ්‍ය ආයතනවලට දුඹුරු සීනි අනිවාර්යය කෙරේ

මින් ඉදිරියට රාජ්‍ය ආයතන සඳහා ආහාර ද්‍රව්‍ය ප්‍රසම්පාදනය යටතේ සීනි සැපයීමේදී දුඹුරු සීනි පමණක් සපයා ගන්නා ලෙස රජය විසින් අනිවාර්යය කරනු ලැබ ඇත.

ඒ අනුව, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, රජයේ රෝහල් වැනි රාජ්‍ය ආයතන සඳහා ඉදිරියේදී ආහාර ද්‍රව්‍ය ප්‍රසම්පාදනයන් යටතේ සීනි සැපයීමේදී දුඹුරු සීනි පමණක් සැපයෙනු ලබයි.

මෙවැනි තීරණයක් ගනු ලැබුවේ දේශීය දුඹුරු සීනි කර්මාන්තය රැකගැනීමේ අරමුණෙන් ඊට අදාළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වේ.

ලංකා සතොස විසින් සෘජුව ම සීමාසහිත ලංකා සීනි (පෞද්ගලික) සමාගමේ දුඹුරු සීනි මිල දී ගෙන පාරිභෝගිකයින්ට අලෙවි කිරීම ද මේ යටතේ සිදුවන බව එම කැබිනට් පත්‍රිකාවේ දැක්වේ.

සීමාසහිත ලංකා සීනි (පෞද්ගලික) සමාගම යටතේ ක්‍රියාත්මක වන පැලවත්ත හා සෙවණගල කර්මාන්තශාලා මගින් දුඹුරු සීනි මෙට්‍රික්ටොන් 56,000ක් පමණ වාර්ෂිකව නිෂ්පාදනය කරන බව කැබිනට් පත්‍රිකාවේ සඳහන් කොට තිබේ.

ඒ අනුව, ගුණාත්මකභාවයෙන් ඉහළ දේශීය නිෂ්පාදනයක් වන දුඹුරු සීනි මෙරට ජනතාව තුළ තවදුරටත් ප්‍රචලිත කිරීම මඟින් දේශීය දුඹුරු සීනි කර්මාන්තය තිරසරව සංවර්ධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි ද කැබිනට් පත්‍රිකාවේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *