තමිල්නාඩු ප්‍රාන්තයේ 17 වන ව්‍යවස්ථාදායක සභා මැතිවරණයෙන් අතිවිශාල ජයග්‍රහණයක් අත්කර ගැනීමට දකුණු ඉන්දීය සිනමා තරුවක් වන විජේගේ තමිළග වෙට්ට්‍රි කසාගම් (TVK) පක්ෂය සමත්ව තිබෙනවා.
ආසන 234 කින් සමන්විත ප්‍රාන්ත සභාවේ ආසන 108 ක් දිනාගනිමින් ඔහු තමිල්නාඩු දේශපාලන සිතියම අලුතින් ලිවීමට සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
වසර 50 කට අධික කාලයක් තමිල්නාඩුව පාලනය කළ DMK සහ AIADMK පක්ෂ මෙවර විජේගේ ආගමනයත් සමඟ පසුබෑමකට ලක්ව තිබෙනවා.
DMK පක්ෂය ආසන 59 කට සීමා වෙමින් ප්‍රධාන විපක්ෂය බවට පත්ව ඇති අතර AIADMK පක්ෂය ආසන 47 ක් ලබාගනිමින් තෙවන ස්ථානයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
TVK පක්ෂය ප්‍රාන්තය පුරා ඡන්ද කෝටි 1.6 කට වඩා ලබාගෙන ඇති අතර එය 35% ක ඡන්ද ප්‍රතිශතයක්.
රජයක් පිහිටුවීම සඳහා අවශ්‍ය බහුතරය වන ආසන 118 සපුරා ගැනීමට තවත් ආසන 10 ක් අවශ්‍ය වන බැවින්, විජේට බලය පිහිටුවීම සඳහා වෙනත් පක්ෂයක සහාය ලබා ගැනීමට සිදු වනු ඇති.
මෙවර මැතිවරණයේදී වාර්තා වූ 85.1% ක ඉහළ ඡන්ද ප්‍රතිශතය එරට මෑත ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගයයි.
විශේෂයෙන්ම නාගරික ප්‍රදේශ අභිබවා ග්‍රාමීය දිස්ත්‍රික්කවල ඡන්දදායකයන් දැක්වූ ඉහළ උනන්දුව පවතින දේශපාලන බල තුලනය උඩුයටිකුරු කිරීමට ප්‍රබල ලෙස බලපා ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වාදී තිබෙනවා.
විජේගේ ජයග්‍රහණය සඳහා ඔහු ඉදිරිපත් කළ සහනදායී පොරොන්දු මාලාව දැඩිව බලපා තිබුණා.
කාන්තාවන් සඳහා රුපියල් 2,500 ක මාසික දීමනාවක් ලබා දීම, විවාහ ආධාර ලෙස රන් ග්‍රෑම් 8 ක් සහ නොමිලේ පට සාරි ලබා දීම, කෘත්‍රිම බුද්ධිය (AI) උදෙසාම වෙන් වූ අමාත්‍යාංශයක් සහ විශ්වවිද්‍යාලයක් පිහිටුවීම, රජයේ රැකියා ලක්ෂ 5 ක් ලබා දීම,රැකියා විරහිත උපාධිධාරීන් සඳහා රුපියල් 4,000 ක මාසික දීමනාවක් ලබා දීම ඒ අතර වනවා.
ඉන්දියානු දේශපාලන ඉතිහාසයේ සිනමාව හරහා පැමිණි නායකයන් අතර එම්.ජී. රාමචන්ද්‍රන් (MGR) සහ එන්.ටී. රාමාරාඕ (NTR) සුවිශේෂී වනවා.
MGR තමිල්නාඩුව තුළ සුභසාධනවාදී දේශපාලනයක් ගොඩනැගූ අතර, NTR ඉතා කෙටි කලකින් පක්ෂයක් පිහිටුවා බලය අල්ලා ගැනීමට සමත් වුණා.
චිරන්ජීවි, කමල් හසන් සහ පවන් කල්‍යාන් වැනි නළුවන්ට තම සිනමා ජනප්‍රියත්වය දේශපාලන බලයක් බවට පත් කිරීමට දැඩි අරගලයක් කිරීමට සිදු වුවද, විජේගේ මෙම ආගමනය තමිල්නාඩු දේශපාලන ව්‍යුහයේ සිදුවූ ගැඹුරු වෙනසක ලක්ෂණයක් ලෙස සැලකෙනවා.
විජේ මහ ඇමති ධුරයට පත්වුවහොත්, NTR ගෙන් පසුව මෙවැනි සුවිශේෂී ජයක් අත්කරගත් දෙවන නළුවා ලෙස ඔහු ඉතිහාසයට එක්වනු ඇති.



