රාජ්‍ය සංචාරයක් සඳහා මෙරට පැමිණි වියට්නාම් ජනාධිපති ටෝ ලාම් මහතා අද (08) මෙරට පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරමින් විශේෂ කතාවක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.
පෙරවරු 11.05ට පාර්ලිමේන්තුවට පැමිණෙන ජනාධිපතිවරයාව පිළිගනු ලබන්නේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විසින් වන අතර අනතුරුව වියට්නාම් ජනාධිපතිවරයා සහ කථානායකවරයා අතර කෙටි හමුවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා – වියට්නාම් මිත්‍රත්ව සංගමයේ සභාපති අමාත්‍ය දම්මික පටබැඳි සහ පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය ද සහභාගි වීමට නියමිතයි.
මෙහිදී වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ අමුත්තන් සඳහා වන විශේෂ පුස්තකයෙහි සිය සටහන තැබීමට ද නියමිතව තිබෙනවා.
අනතුරුව සභාගර්භයට පිවිසෙන වියට්නාම් ජනාධිපතිවරයා කථානායකවරයාගේ ආසනය සමීපයේ පනවා ඇති විශේෂ ආසනයේ අසුන්ගෙන පෙරවරු 11.40ට පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරමින් සිය විශේෂ කතාව සිදු කරනු ලබනවා.
මෙය 2015 වසරෙන් පසු රාජ්‍ය නායකයෙකු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරන පළමු අවස්ථාව ලෙස මෙය සැළකෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.



