හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මරුට

ශ්‍රී ලංකා පොලිස් සේවයේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ විශ්‍රාමික පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේදී සිදුවූ වෙඩි වැදීමකින් අද (17) ජීවිතක්ෂයට පත්ව තිබේ

අද උදෑසන කාලයේදී සිදුවූ මෙම වෙඩි වැදීමෙන් ඒ මහතාව මුල්ලේරියාව මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණද රෝහලට රැගෙන එන විටත් ඔහු මියගොස් සිටි බව ආරංචි මාර්ග තහවුරු කරයි

ඔහුගේ හිස ප්‍රදේශයට වෙඩි පහර වැදී තිබෙන අතර මෙම මරණයට හේතුව මෙතෙක් නිශ්චිතවම අනාවරණය වී නොමැති වුවද මෙය වෙඩි තබාගෙන සිදුකරගත් සියදිවි හානිකර ගැනීමක් බවට පොලිසිය සැක පළ කරයි

කොළඹ ආනන්ද විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා කොළඹ විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යා උපාධියක් ලබාගත් ඒ මහතා 1986 වසරේදී සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස ශ්‍රී ලංකා පොලිස් සේවයට එක්විය වසර 30කට අධික කාලයක් පොලිස් දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරු හොබවමින් සුවිශේෂී සේවාවක් ඉටුකළ සී.ඩී වික්‍රමරත්න මහතා ජනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධියක්ද බ්‍රිතාන්‍යයේ බ්‍රැඩ්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් සහ ඇමරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර විශේෂ පුහුණු පාඨමාලා ද සාර්ථකව නිමකර තිබූ දක්ෂ නිලධාරියෙකි.

පොලිස්පති ධුරයට පත්වීමට පෙර දකුණු පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සේවය කළ ඒ මහතා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවෙන් පසුව එවකට සිටි පොලිස්පති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා  අනිවාර්ය නිවාඩු යැවීමත් සමඟ වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කරනු ලැබීය .

ඉන් අනතුරුව 2020 නොවැම්බර් මස 25 වන දින මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස ස්ථිර තනතුරේ රාජකාරි ආරම්භ කළ සී.ඩී වික්‍රමරත්න මහතා සේවා දිගු කිහිපයක් ද ලබාගනිමින් 2023 වසරේ නොවැම්බර් මස 25 දින පොලිස් සේවයෙන් විශ්‍රාම ලැබීය.

කෙසේවෙතත් මෙම මරණය සිදුවූ ආකාරය සහ ඊට හේතුව සෙවීම සඳහා මාලඹේ පොලිසිය මඟින් මේ වන විට පුළුල් විමර්ශනයක් අරඹා තිබේ

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *