“හිරේ යන්නත් කලින් ඇපකරුවන් හෙව්වා..”

අබිරහස් ලෙස මියගිය ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා රිමාන්ඩ් භාරයට පත් වීමටත් ප්‍රථම, මාර්තු මාසයේ දිනක තමන්ට ඇප ලබාගැනීම සඳහා සූදානම් වන ලෙස ප්‍රකාශ කළ බව කපිල චන්ද්‍රසේන මහතාට ඇප ලබා දුන් පුද්ගලයෙකු වන ඉන්දික මනෝජ් රත්නායක නැමැත්තා ඊයේ (26) අධිකරණයට සාක්ෂි ලබා දෙමින් පවසා තිබෙනවා.

කපිල චන්ද්‍රසේන මහතාගේ අබිරහස් මරණය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ අද කැඳවූ අවස්ථාවේදී මෙම අතිශය ආන්දෝලනාත්මක කරුණු අනාවරණය වුණා.

කොළඹ අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක අරුණ ක්‍රිෂාන්ත මහතාගේ මෙහෙයවීමෙන්, උප පොලිස් පරීක්ෂක ජයන්ත ලාල් මහතා විසින් සිද්ධියට අදාළ සාක්ෂි විභාගය අධිකරණය හමුවේ මෙහෙයවනු ලැබුවා.

සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මෙහෙයවන ලද සාක්ෂි විභාගයේදී, කපිල චන්ද්‍රසේන මහතා වෙනුවෙන් ශරීර ඇප තැබූ ඉන්දික මනෝජ් රත්නායක නැමැති සාක්ෂිකරුගෙන් පොලිසිය ප්‍රශ්න කළ අවස්ථාවේදී ඔහු මෙලෙස කරුණු අනාවරණය කළා.

එහිදී තමන් “සොප්ලොජික්” ආයතනයේ සේවය කරන බව ප්‍රකාශ කළ සාක්ෂිකරු, තම ආයතනයේ සේවාදායකයකු වශයෙන් කපිල චන්ද්‍රසේන මහතාව වසර නවයක් හෝ දහයක් තිස්සේ සමීපව හඳුනන බව අධිකරණයට දන්වා සිටියා.

එයාර්බස් යානා ගනුදෙනුවකට අදාළ සිදුවීමක් සම්බන්ධයෙන් කපිල චන්ද්‍රසේන මහතා රක්ෂිත බන්ධනාගාරගතව සිටි බව තමන් දැන සිටි බවද ඔහු සඳහන් කළා.

කපිල චන්ද්‍රසේන මහතා තමන්ට අවසන් වරට දුරකථනයෙන් ඇමතුම් ලබාදුන් නිශ්චිත දිනයක් මතකයේ නොමැති වුවද, එය මාර්තු මස 13 වැනිදා වැනි කාල වකවානුවක සිදු වූවක් බව සාක්ෂිකරු මෙහිදී ප්‍රකාශ කර සිටියා.

එම අවස්ථාවේදී ඔහු වෙනුවෙන් ඇප තැබීම සඳහා තමන් ග්‍රාම නිලධාරී සහතිකය පවා සූදානම් කරගෙන සිටියද, එදින ඇප ලබාගැනීමට නොහැකි වූ බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

කපිල චන්ද්‍රසේන මහතාට අධිකරණයෙන් ඇප ලැබුණු බව තමන් දැනගත්තේ කෙසේද යන්න පිළිබඳව පොලිසිය විමසා සිටි ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ, සිය ජංගම දුරකථනයට පැමිණි “එසැණ පුවත්” (News Alert) මඟින් තමන් ඒ පිළිබඳව මුලින්ම දැනුවත් වූ බවයි.

එම පුවත සැලවීමත් සමඟම තමන් වහාම උදාර නීතිඥවරයා අමතා ඒ පිළිබඳව විමසූ බවත්, එහිදී ග්‍රාම නිලධාරී සහතික තිබේ නම් ඒවා ද රැගෙන අලුත්කඩේ අධිකරණ සංකීර්ණය වෙත පැමිණෙන ලෙස නීතිඥවරයා තමන්ට දැනුම් දුන් බවත් සාක්ෂිකරු පැවසුවා.

ඒ අනුව තමන් වහාම අධිකරණය වෙත ගොස් කපිල චන්ද්‍රසේන මහතා වෙනුවෙන් රුපියල් ලක්ෂ 100ක ශරීර ඇපයක් අත්සන් කර තබා පැමිණි බව සාක්ෂිකරු ලිඛිතව අධිකරණය හමුවේ සනාථ කළා.

ඉන් අනතුරුව පොලිසිය නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ, ඇප ලබාදීමෙන් පසු එදින (7 වැනිදා) පස්වරු 6.30ට පමණ හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ නිවසට පැමිණෙන ලෙස තමන්ට ඇරයුම් ලැබුණු බවයි.

එම නිවසට යන විට ගේට්ටුව ඇරූ පුද්ගලයා සහ කපිල චන්ද්‍රසේන මහතා එහි රැඳී සිටිනු දුටු බවත්, චන්ද්‍රසේන මහතා ඉහළ මහලේ සිට පහළට පැමිණි බවත් ඔහු සඳහන් කළා.

එම අවස්ථාවේදී ඇපකරුවන්ට සම්බන්ධ තවත් පිරිසක් එහි පැමිණ සිටි අතර, ඒ අනුව එහි මනෝජ් (සාක්ෂිකරු), කපිල චන්ද්‍රසේන, අරවින්ද ද සිල්වා, ඔහුගේ බිරිඳ, ෆර්ඩි, ෂමිල් සහ ශාන්ත යන අය රැඳී සිට තිබෙනවා.

ෆර්ඩි යනු කවුදැයි තමන් හරිහැටි නොදන්නා බවද සාක්ෂිකරු පැවසුවා.

ඉන්පසු ඔවුන් සියලු දෙනා අරවින්ද ද සිල්වා මහතාගේ වාහනයෙන් කොටහේන ප්‍රදේශයේ පිහිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතාගේ කාර්යාලය වෙත ගොස් තිබෙනවා.

එහිදී නීතිඥවරුන් වන රියන්සි සහ උදාර යන මහත්වරුන් සමඟ අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ නඩු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්, තමන් එය බලා සිටි මුත් එහි අන්තර්ගතය නොදන්නා බවත් සාක්ෂිකරු පැවසුවා.

සාකච්ඡාවෙන් පසු රාත්‍රී 10.00ට පමණ නැවත අරවින්දගේ නිවසට පැමිණි බවත්, එහි පිළියෙල කර තිබූ රාත්‍රී ආහාරය සියලු දෙනා එක්ව ගත් බවත් සාක්ෂිකරු සඳහන් කළා.

කපිල චන්ද්‍රසේන මහතාද කෑම මේසයේ සිටියද තමන් සමඟ කතා නොකළ බවත්, කෑමෙන් පසු පිළිවෙළින් ෆර්ඩි, ශාන්ත සහ අනෙක් පුද්ගලයා නික්ම ගිය අතර අවසානයට තමන් එහි තිබූ නික්ම ආ බවත් ඔහු කියා සිටියා.

පසුදින උදෑසන 9.00ත් 10.00ත් අතර කාලයේදී මාධ්‍ය මඟින් කපිල චන්ද්‍රසේන මහතා මියගොස් ඇති බව දැක අරවින්ද ද සිල්වා මහතාට ඇමතුමක් ගත් බවත්, එහිදී අරවින්ද මහතා “දැන් පොලිසියෙන් ඇවිත් ඉන්නේ, පස්සේ කතා කරන්නම්” යැයි පැවසූ බවත් සාක්ෂිකරු අනාවරණය කළා.

ඉන්පසු තමන් ඔහුව දුටුවේ බොරැල්ල කනත්තේ අවසන් කටයුතු සිදුකළ දිනයේදී බව සාක්ෂිකරු කියා සිටියා.

මෙහිදී කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් සාක්ෂි කූඩුවේ සිටි සාක්ෂිකරුගෙන් විශේෂ ප්‍රශ්න කිරීමක් සිදු කරනු ලැබුවා.

මාර්තු මාසයේ දිනක ඇප ලබාගැනීමට අවශ්‍ය බව කපිල මහතා ප්‍රකාශ කළේ යැයි ඔබ පැවසූ අතර, ඔහු ඒ බව ඔබට දැනුම් දුන්නේ කෙසේද?” යන්න පිළිබඳව මහේස්ත්‍රාත්වරයා මුලින්ම විමසා සිටියා.

ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු ප්‍රකාශ කළේ, කපිල චන්ද්‍රසේන මහතා ඒ බව තමන්ට පැවසුවේ දුරකථන ඇමතුමකින්ද නැතහොත් පෞද්ගලිකව හමු වීද යන්න පිළිබඳව මේ වන විට තමන්ට නිශ්චිත මතකයක් නොමැති බවයි.

ඉන් අනතුරුව, “එම ප්‍රකාශය සිදු කරන අවස්ථාව වන විට සැකකරු පසුවුණේ ඇප මතද, නැතහොත් රක්ෂිත බන්ධනාගාරගතවද?” යන්න පිළිබඳව මහේස්ත්‍රාත්වරයා සාක්ෂිකරුගෙන් නැවතත් ප්‍රශ්න කළා.

එම ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වමින් සාක්ෂිකරු අධිකරණය හමුවේ කියා සිටියේ, එය සිදු වූයේ පෙබරවාරි මාසයේ අග භාගයේදී හෝ මාර්තු මාසයේ මුල් භාගයේදී ද යන්න තමන්ට හරියටම මතක නොමැති වුවද, කපිල චන්ද්‍රසේන මහතා රක්ෂිත බන්ධනාගාරගත වීමටත් ප්‍රථම, තමන්ට ඉදිරියේදී ඇප තැබීමට අවශ්‍ය වන බව තමන් වෙත පැහැදිලිවම ප්‍රකාශ කළ බවයි.

මීළඟ සාක්ෂිකරු ලෙස අරවින්ද ද සිල්වා මහතාගේ නිවසේ ආරක්ෂිත කැමරා (CCTV) සවිකළ තාක්ෂණ ශිල්පියෙකු වන ජයසුන්දර මුදිහන්සේලාගේ හේමන්ත සමන් කුමාර නැමැත්තා සාක්ෂි ලබා දුන්නා.

ඔහු කියා සිටියේ 2021 වසරේදී අදාළ නිවසේ පරණ කැමරා ගලවා, ගේට්ටු දෙපස සහ බුදු මැදුර අසල ඇතුළුව අලුතින් කැමරා 5ක් සහ DVR යන්ත්‍රයක් සවි කළ බවයි.

කෙසේ වෙතත්, 2024 වසරේදී අරවින්ද ද සිල්වා මහතාගෙන් ලැබුණු දැනුම්දීමකට අනුව තමන් එහි යන විට DVR යන්ත්‍රයේ දත්ත ගබඩා වීම  මුළුමනින්ම නැවතී තිබූ බවත්, පසුව වගකීම් සහතිකය යටතේ එහි හාඩ්ඩිස්කය මාරු කර නැවත ක්‍රියාත්මක කළ බවත් ඔහු පැවසුවා.

ඉන්පසුව මොනිටර් තිර කිහිප වරක් මාරු කළද, පද්ධතිය සාමාන්‍ය පරිදි වැඩ කළ බවත්, අවසාන වරට මොනිටරය පරීක්ෂා කරන විටද ඩී.වී.ආර් එකේ රෙකෝඩින් වැඩ කරමින් තිබූ බවත් ඔහු  සඳහන් කළා.

කෙසේවෙතත් අද දින මෙම නඩුව වෙනුවෙන් සාක්ෂි අංක 17, 18, 19 සහ 20 යන සාක්ෂිකරුවන් සිව්දෙනා කැඳවීමට තිබූ අතර, අධිකරණයේ පෙනී සිටියේ 17 වන සහ 18 වන සාක්ෂිකරුවන් පමණයි.

සිද්ධියට අදාළ 19 වන සහ 20 වන සාක්ෂිකරුවන් වන ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ නීතිඥ උදාර මුහන්දිරම් යන මහත්වරුන් අධිකරණයේ අද පෙනී සිටියේ නැහැ.

ඒ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කර සිටියේ එම සාක්ෂිකරුවන් දෙදෙනාට අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබූ බවයි.

එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ ඔවුන් නොපැමිණීම සම්බන්ධයෙන් කරුණු විමසා බලා නැවත එම සාක්ෂිකරුවන්ට දැනුම් දෙන ලෙසයි.

සිද්ධියට අදාළ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 29 වැනිදාට යළි කැඳවීමට නියමිතයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *