ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට පොලීසිය විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
කොල්ලුපිටිය, පේද්‍රිස් මාවත ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී අද (08) උදෑසන කපිල චන්ද්‍රසේන මහතාගේ මළ සිරුර පොලීසිය විසින් සොයා ගැණිනි.
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ එයාර් බස් ගනුදෙනුවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස් වූ කපිල චන්ද්‍රසේන මහතාගේ ඇප අවලංගු කර ඔහු අත්අඩංගුවට ගැනීමට අධිකරණය විසින් ඊයේ (07) දිනයේ වරෙන්තු නිකුත් කර තිබූ පසුබිමක මෙම සිදුවීම වාර්තා වීම ද විශේෂත්වයකි.
ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර් බස් මිලදී ගැනීමේදී අමෙරිකානුඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගත් බව කියන සිද්ධියට අදාළව එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා පසුගිය මාර්තු මස 12 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
මාස 02කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි කපිල චන්ද්‍රසේන මහතා මැයි මස 05 වැනිදා ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කළේය.
කෙසේවෙතත් ඇප මත මුදාහැරීමේ දී ඔහු විසින් ඉදිරිපත් කළ ඇපකරුවන් දෙදෙනා රුපියල් 15,000 බැගින් මුදල් ගෙවා ලබාගත් නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු බවට අනාවරණය වී තිබීම හේතුවෙන් ඊයේ අධිකරණයට කරුණු වාර්තා කරමින් අල්ලස් කොමිසම පැවසුවේ සැකකාර කපිල චන්ද්‍ර සේන මහතා මෙම ක්‍රියාව හරහා අධිකරණයේ විශ්වාසය කඩ කර ඇති බවය.
කරුණු සැලකිල්ලට ගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය කපිල චන්ද්‍ර සේන මහතා යළි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඊයේ (07) වරෙන්තු නිකුත් කළේය.
මේ අතර මූලික විමර්ශන වලින් අනතුරුව මෙය සැකකටයුතු මරණයක් බවට සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන කොල්ලුපිටිය පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.



