හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව දේශපාලන දඩයමක් දියත් කිරීමට ආණ්ඩුව උත්සාහ කරන්නේ නම්, ඊට එරෙහිව මෙරට ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ මීළඟ අරගලය කුමක්දැයි ආණ්ඩුවට බලාගත හැකි වනු ඇතැයි හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක, මනෝජ් ගමගේ මහතා පවසනවා.
ඊයේ (09) පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.
මහින්ද රාජපක්ෂ මහතාට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා අද උදෑසන නොතීසියක් ලැබුණු බව තහවුරු කළ ඔහු, පසුගිය සතිය පුරා විවිධ මාධ්‍ය මඟින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නොතීසි නිකුත් කර ඇති බවට පළ වූ වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍යය බව එහිදී සඳහන් කළා.
ආණ්ඩුවේ වැරදි හෙළි කරන හෝ ප්‍රධාන සාක්ෂිකරුවන් ලෙස සිටින පුද්ගලයන් අසාමාන්‍ය ලෙස මියයෑමේ ප්‍රවණතාවක් පවතින බවත්, කන්ටේනර් 323 වංචාව සහ භාණ්ඩාගාර වංචාවලට අදාළ පුද්ගලයන්ගේ මරණ මීට නිදසුන් බවත් ඔහු පෙන්වාදෙනවා.
අල්ලස් කොමිසම “පැලවත්තේ” දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන බවට චෝදනා කළ මනෝජ් ගමගේ මහතා කියා සිටියේ, ස්වාධීන කොමිසමක් ලෙස මහජන මුදල් කොල්ලකෑ සැබෑ වංචා පිළිබඳ පරීක්ෂණ පවත්වන ලෙසට බලධාරීන්ට අභියෝග කරන බවයි.
එමෙන්ම රාජපක්ෂවරුන්ගේ කිසිදු හොරකමක් ඔප්පු කර ගැනීමට නොහැකිව ආණ්ඩුව අන්ත අසරණ වී සිටින බවත් , මහින්ද රාජපක්ෂ මහතාට අත තැබීමට උත්සාහ කරමින් ආණ්ඩුව වරද්දා නොගත යුතු බවත් මනෝජ් ගමගේ මහතා අනතුරු අඟවනු ලැබුවා.
මෙම නොතීසිය සම්බන්ධයෙන් ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.



