කොළඹ වරායේ පැවති බහාලුම් තදබදයට විසඳුම් ලෙස කිසිදු පරීක්ෂාවකින් තොරව බහාලුම් 300කට අධික ප්‍රමාණයක් නිදහස් කිරීමට උපදෙස් දීම හරහා සිදුව ඇති බරපතළ අවදානමේ වගකීම වත්මන් රජය සෘජුවම භාරගත යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.
ඊයේ (09) සිය යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් ඒ මහතා කියා සිටියේ, මෙම ක්‍රියාවලිය හේතුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක, එවකට වරාය විෂයභාර අමාත්‍ය බිමල් රත්නායක සහ නියෝජ්‍ය අමාත්‍ය ජනිත් කොඩිතුවක්කු යන අය මෙහි ප්‍රධාන වගකිවයුත්තන් වන බවයි.
පසුගිය 2025 වසරේ ජනවාරි 15 වැනිදා වරායේ පවතින තදබදය අවම කිරීම සඳහා බහාලුම් 600ත් 800ත් අතර ප්‍රමාණයක් කිසිදු පරීක්ෂාවකින් තොරව නිදහස් කරන ලෙස ගේට්ටුවලට උපදෙස් දුන් බව නියෝජ්‍ය අමාත්‍ය ජනිත් කොඩිතුවක්කු මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇති බවත්, ජනවාරි 18 වැනිදා එම උපදෙස් මත බහාලුම් 323ක් පරීක්ෂාවකින් තොරව නිදහස් කර තිබෙන බවත් ඔහු සඳහන් කළා.
ජනවාරි 20 සහ 21 යන දිනයන්වල පරීක්ෂාවකින් තොරව බහාලුම් නිදහස් කිරීම හරහා මත්ද්‍රව්‍ය, ගිනි අවි හෝ බාල ඖෂධ රට තුළට ඇතුළු විය හැකි බවට රේගු වෘත්තීය සමිති ජනාධිපතිවරයා දැනුවත් කරමින් අනතුරු අඟවා තිබූ බවත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, මත්ද්‍රව්‍ය හෝ අවි ආයුධ රට තුළට පැමිණ තිබුණහොත් එහි වගකීම රජයක් ලෙස තමන් භාරගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා ජනවාරි 23 වනදා ප්‍රකාශ කර ඇති බව ගම්මන්පිල මහතා කියා සිටියා.
මෙම විෂයට අදාළව කරුණු විමසීම සඳහා ජනාධිපතිවරයාව සහ අදාළ අමාත්‍යවරුන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට කැඳවිය යුතු බවට විපක්ෂය කළ යෝජනාව, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් සිය බහුතර බලය යොදා පරාජය කළ බවට ද ඔහු චෝදනා කළා.
කිසිවක් සැඟවීමට නැතිනම් මෙලෙස තේරීම් කාරක සභාවට පැමිණීම මගහැරීමට හේතුවක් නොමැති බවද ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම, මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රේගු අධ්යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිල නිවේදනයක් මගින් ජනාධිපතිවරයා සහ එවකට වරාය අමාත්‍යවරයා මෙම ක්‍රියාවලියට සෘජුව මැදිහත් වී ඇති බව තහවුරු වන බව ඔහු පැවසුවා.
තේරීම් කාරක සභාව පවා දැනුවත් නොවී තිබූ තීරණාත්මක සාක්ෂියක් ඉදිරිපත් කරමින් ගම්මන්පිල මහතා පෙන්වා දෙන්නේ, 2025 ජනවාරි 29 වන දින එවකට රේගු අධ්යක්ෂ ජනරාල් පී.බී.එස්.සී. නෝනිස් මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක පස්වන ඡේදය මගින් මේ බව මනාව පැහැදිලි වන බවයි.
“2025 ජනවාරි 12 වන දින අතිගරු ජනාධිපති සහ කමිටු සභාපති ගරු ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් රේගු අධ්යක්ෂ ජනරාල් වෙත බහාලුම් නිශ්කාශන කටයුතු ඉතා කඩිනමින් අවසන් කිරීමට දෙන ලද උපදෙස් ද අනුව, ඉහත කමිටුව 2025 ජනවාරි 18 දින රැස්වී අදාළ නිර්ණායකයන්ට අනුව අදාළ බහාලුම් සංඛ්‍යාව නිදහස් කරන ලදී.” යනුවෙන් ගම්මන්පිල මහතා උපුටා දක්වන ලද එම නිවේදනයේ සඳහන් වුණ.



