”අටමස්ථානාධිපති හිමි ගණිකාවකගේ ප්‍රකාශයක් මත අත්අඩංගුවට ගෙන තියෙන්නේ..”

ගණිකාවකගේ ප්‍රකාශයක් මත අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට වත්මන් රජය කටයුතු කර ඇති බව සර්වජන බලය පක්ෂයේ ජාතික සංවිධායක, හිටපු දිලුම් අමුණුගම මහතා  පවසනවා.

ප්‍රවෘත්ති සාකච්ඡාවක්  අමතමින් ඔහු සඳහන් කළේ,  වත්මන් පරිපාලනය විසින් රජයට සහාය දැක්වූ පිරිස් මෙන්ම ආරක්ෂක අංශවල හිටපු ප්‍රධානීන් දඩයම් කරමින් දෙබඩි පිළිවෙතක් අනුගමනය කරන බවයි.

කෙසේවෙතත් අටමස්ථානාධිපති හිමියන්ට එල්ල වී ඇති චෝදනාවලට අදාළ 15 හැවිරිදි  දැරිය “ගණිකාවක” ලෙස හඳුන්වමින් දිලුම් අමුණුගම මහතා සිදුකළ මෙම ප්‍රකාශයත් සමඟ මේ වන විට සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

දිලුම් අමුණුගම මහතා මෙම ප්‍රකාශය සිදු කරන්නේ, 15 හැවිරිදි බාලවයස්කාර දැරියකට බරපතළ ලිංගික හිංසනයක් සිදුකිරීමේ චෝදනාව මත අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙන පසුබිමකයි.

කෙසේවෙතත් මෙම සිද්ධියට අදාළ නඩුව පසුගියදා අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, සැකකාර හිමියන් අධිකරණය හමුවේ පෙනී නොසිටින පසුබිමක උන්වහන්සේව යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගයක් නිකුත් කිරීම අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව සැකකාර හිමියන් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත්, උන්වහන්සේව එදින අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබූ බවයි.

අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ කොළඹ අධිකරණයෙන් නිකුත් කළ බව කියන එවැනි නියෝගයක් මෙතෙක් තමන් වෙත ලැබී නොමැති බවයි.

එමෙන්ම, රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගය දීර්ඝ කරන්නේ නම් එය සිදුකළ යුත්තේ මුලින්ම බන්ධනාගාරගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා විසින්ම බව ද ඔහු  අවධාරණය කළා.

සැකකාර පල්ලේගම හේමරතන හිමියන් අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර තිබූ අතර, එහි සඳහන් වූයේ උන්වහන්සේ දුර බැහැර ප්‍රදේශයකට ප්‍රවාහනය කිරීමට තරම් සෞඛ්‍ය තත්ත්වයක් නොමැති බවත්, විශේෂ වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට භාජනය වීමට ඇති බවයි.

සැකකාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණය හමුවේ කියා සිටියේ තම සේවාදායකයාට එල්ල වී ඇති සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

එමෙන්ම  විවිධ වෘත්තීයවේදීන් සහ සාමාන්‍ය ජනතාව සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් ඒකපාර්ශවීය තීන්දු ලබාදී ඇති බවට ද ඔහු මෙහිදී චෝදනා කළා.

තවද නිට්ටඹුව මූලස්ථාන පොලිස් පරීක්ෂක පී.එම්. අනුර ගුණවර්ධන මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම අපරාධය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට ඇති බැවින් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන බවයි.

මේ අතර රටේ යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා විශාල දායකත්වයක් සැපයූ හිටපු මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා අද වන විට කිසිදු නිශ්චිත චෝදනාවකින් තොරව රඳවා තබාගෙන සිටින බවද දිලුම් අමුණුගම මහතා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පවසා සිටියා.

එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායකයෙකු වුවද පසුව රජයේ හමුදාවන්ට සහාය දෙමින් කරට කර සටන් වැදුණු පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ද කිසිදු චෝදනාවකින් තොරව අධි ආරක්ෂිත බන්ධනාගාරයක සිරකර ඇති බවද ඔහු  සඳහන් කළා.

“මේ දෙබඩි පිළිවෙත මත ක්‍රියාත්මක වෙන්නේ වත්මන් පාලකයන්ව බලයට පත් කිරීම සඳහා ඩයස්පෝරාවෙන් ලැබුණු සහය නිසාද කියා සැකයක් මතු වෙනවා. එක් පාර්ශවයකට තහනමක් වැටෙන කොට ජාතිකත්වය ගැන කතා කරනවා. නමුත් ත්‍රස්තවාදීන් සමරන කණ්ඩායම්වලට අවසර ලැබෙන්නේ කොහොමද? මේ රට පිළිබඳව කැක්කුමක් තියෙන පිරිස් මේ දේශපාලන ක්‍රියාවලිය ගැන ගැඹුරටම ගිහින් හොයලා බලන්න අවශ්‍යයි.”

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *