අටමස්ථානාධිපතිට නියම කළ ඇප කොන්දේසි මොනවා ද?

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි ඇප මත මුදා හැරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (22) නියෝග කළා.

එමෙන්ම උන්වහන්සේට මුදලට චේතනාන්විතවම තම දියණිය අපයෝජනය කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වින්දිත දැරියගේ මව ද දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු සියපත් සසිඳු වික්‍රමරත්න නියෝග කර තිබෙනවා.

එහිදී සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප දෙකක් සහ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

එමෙන්ම උන්වහන්සේට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබෙන බවත් ඇප කොන්දේසි කඩ කළහොත් සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කළහොත් ඇප නියෝගය අවලංගු කරන බව ද මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර තිබෙනවා.

මේ අතර, දැරියගේ මවට රුපියල් ලක්ෂ 05 ක් වටිනා ශරීර ඇප දෙකක් නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඇයට ද විදේශගත වීම තහනම් කිරීමට නියෝග කළා.

බාලවයස්කාර දැරියකට ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ චෝදනාව මත අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඉන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කෙරුණු උන්වහන්සේ දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සිදු කළ මූලික විමර්ශන කටයුතු අවසන්ව ඇති බවත්, ඒ අනුව විමර්ශනවල උදෘත නීතිපති උපදෙස් සඳහා නීතිපතිවරයා වෙත යවා ඇති බවත් නඩුව කැඳවූ අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එම්. අනුර ගුණවර්ධන අධිකරණයට දන්වා සිටියා.

එහිදී පළමු සැකකාර පල්ලේගම හේමරතන හිමියන් වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස කියා සිටියේ පොලිසිය ප්‍රකාශ කර ඇති පරිදි විමර්ශන අවසන්ව උදෘත නීතිපතිවරයා වෙත යවා ඇති පසුබිමක තම සේවාදායක හිමිනමට ඇප ලබා දීමට කිසිදු බාධාවක් නොමැති බවත් නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙම විමර්ශනවලට බලපෑම් කරන බවට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළ ජනාධිපති නීතිඥවරයා, තම සේවාදායක හිමිනම මේ දක්වා සියලු විමර්ශනවලට සහය දක්වා ඇති අතර කිසිදු බලපෑමක් සිදු කර නොමැති බව ද අවධාරණය කළා.

සැකකාර හිමියන් වෙනුවෙන් දීර්ඝ වේලාවක් කරුණු දක්වමින් ඕනෑම ඇප කොන්දේසියක් මත උන්වහන්සේව මුදාහරින ලෙස ඉල්ලා සිටි ජනාධිපති නීතිඥවරයා, බාල වයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළ බවට එල්ල වන චෝදනා ද තරයේ ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඉනෝකා රණසිංහගේ උපදෙස් මත අධිකරණයට කරුණු දක්වමින්, එම අධිකාරියේ නීතිය බලගැන්වීමේ අධ්‍යක්ෂ නීතිඥ සජීවනී අබේකෝන් පැවසුවේ, මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට ‘කෙවිටක් අරගෙන පොලිසිය පසුපස යාමට’ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට සිදු වූ බවයි.

සැකකාර පල්ලේගම හේමරතන හිමියන් තමන්ව දූෂණය කළ බවට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා පිළිගත හැකි සාක්ෂි සහිතව දැරිය ප්‍රකාශ කර ඇති තත්ත්වයක, පොලිසිය සැකකාර හිමියන් රැඳී සිටින විහාරස්ථානයට ගොස් ප්‍රකාශ ලබාගෙන උන්වහන්සේව මුදාහැර තිබුණු බව ද නීතිඥවරිය මෙහිදී අනාවරණය කළා.

සැකකාර හිමිනම විසින් තමා අපයෝජනයට ලක් කරන ලද බව කියන ස්ථානය දැරිය නිශ්චිතව පෙන්වා දී තිබීම නීතිඥ සජීවනී අබේකෝන් අවධාරණය කළා. 

සැකකාර හිමිනම දැරිය සමඟ දැරිය ඇතැම් අවස්ථාවල දින තුනෙන් තුනට ගෙන්වාගෙන අපයෝජනයට ලක් කර ඇති බව තහවුරු වී ඇති බවත් අපයෝජනයට අදාළ භෞතික සාක්ෂි දැරිය පෙන්වීමත්,

දැරියට දීර්ඝකාලීන ලිංගික ප්‍රවේශයක් සිදු කර ඇති බව, අධිකරණ වෛද්‍ය නිලධාරී චමින්ද රාජකරුණා පැවැත්වූ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදී තහවුරු කරගෙන ඇති බව ද ඇය පෙන්වා දුන්නා.

සැකකාර හිමිනම සහ දැරිය අතර දුරකථන සංවාද 84 ක් සිදුව ඇති බව දුරකථන විශ්ලේෂණ වාර්තා මඟින් දැනටමත් තහවුරු වී ඇති බව කියා සිටි නීතිඥ සජීවනී අබේකෝන්, ආගමික බලයෙන්, දේශපාලන බලයෙන් සහ ධන බලයෙන් සපිරි මෙවැනි ප්‍රබල හිමිනමකට දුරකථන ඇමතුම් ලබා ගැනීමට සාමාන්‍ය ජනතාවට හැකියාවක් පවතින්නේ දැයි ප්‍රශ්න කර සිටි අතරසැකකාර හිමිනම දැරිය අපයෝජනයට ලක් කිරීමෙන් පසුව රුධිරය වහනය වූ දැරියගේ යට ඇඳුම් වළ දමා තිබියදී සොයාගත් බව ප්‍රකාශ කළ නීතිඥවරිය මෙතරම් ප්‍රබල සාක්ෂි තිබියදීත් පොලිසිය සැකකාර හිමිනම අත්අඩංගුවට ගැනීම කල් මරමින්, උන්වහන්සේට නිදැල්ලේ පසුවීමට ඉඩ ප්‍රස්ථා ලබා දී සිටි බවද සඳහන් කළා. 

මෙම සිද්ධියට අදාළ විමර්ශනවලදී පොලිසිය මේ දක්වාත් දැරියගේ වීඩියෝ සාක්ෂි පවා ලබාගෙන නොමැති බවත්, සමස්ත විමර්ශන ක්‍රියාවලියේදී පොලිසිය විසින් නීතිය අපගමනය කරමින් කටයුතු කර ඇති බවත් ඇය පවසා සිටියා.

පැහැදිලි සාක්ෂි තිබියදීත් උන්වහන්සේ අත්අඩංගුවට නොගත්තේ මන්දැයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් විමසුව ද ඔහු ද නිසි පිළිතුරක් ලබා නොදෙමින් කල් මරමින් සිටි බවයි නීතිඥවරිය වැඩිදුරටත් සඳහන් කළේ.

සැකකාර හිමිනමට පවතින මුදල් බලය, ආගමික බලය සහ නිල බලය පදනම් කරගෙන මෙම විමර්ශන දියාරු කිරීමට පොලිසිය මේ මොහොතේත් කටයුතු කරමින් සිටින බව පැවසූ නීතිඥවරිය, රාගය, ද්වේෂය, මෝහය තුරන් කිරීමට පැවිදි දිවියට පිවිසි සැකකාර හිමි නම විසින් රාගයෙන් මුසපත්ව බුදුදහමට එරෙහිව ක්‍රියා කර ඇති බව ප්‍රකාශ කළා. 

එමෙන්ම සැකකාර හිමිනම අත්අඩංගුවට ගැනීමට අධිකරණය වරෙන්තු නිකුත් කළ විගස, මීට පෙර නොතිබූ හදිසි අසනීප තත්ත්වයක් පැන නැඟී ඇති බවත්, උන්වහන්සේට විශේෂ අසනීප තත්ත්වයක් නොමැති අතර ඇත්තේ වයස අවුරුදු 70 ට වැඩි පුද්ගලයන්ට වැළඳෙන නිදන්ගත රෝග පමණක් බවත් ඇය කියා සිටියා.

පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එම්. අනුර ගුණවර්ධන, අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර සහ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නඩු කටයුතු මෙහෙයුම් නිලධාරී උපපොලිස් පරීක්ෂක ඒ.සී. දයානන්ද යන අය පෙනී සිටි අතර, 

සැකකාර පල්ලේගම හේමරතන හිමියන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස සමඟ නීතිඥවරුන් 20කට ආසන්න සංඛ්‍යාවක් පෙනී සිටි අතර, දැරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ස්වර්ණමාලී අනුරාධනායක සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ අසිත් සිරිවර්ධන, අතුල රණගල යන මහත්වරුන් සහ නීතිඥවරුන් වන බානුක මලවිආරච්චි, සුරේෂ් කාරියවසම්, චානක අබේවික්‍රම සහ යාලිත් ජයසුන්දර යන අය පෙනී සිටියා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *