T20 දිගම ඕවරයේ වාර්තාව අර්ෂ්දීප් සිංට

ඉන්දියානු කණ්ඩායමේ වමත් වේග පන්දු යවන ක්‍රීඩක අර්ෂ්දීප් සිං (Arshdeep Singh) ඊයේ (11) මුල්ලන්පූර්හිදී පැවැත්වුණු දකුණු අප්‍රිකාවට එරෙහි දෙවන පන්දුවාර 20 තරගයේදී අවාසනාවන්තම වාර්තාවකට හිමිකම් කියමින් දැඩි කතාබහට ලක්වූවා.

දකුණු අප්‍රිකානු ඉනිමේ 11 වන පන්දුවාරය යැවීමට පැමිණි අර්ෂ්දීප්, එම පන්දුවාරයේදී අතිශයින්ම පාලනයකින් තොර පන්දු යැවීමකුයි පෙන්නුම් කර ඇත්තේ.

පන්දුවාරය ආරම්භයේදී ක්වින්ටන් ඩි කොක් පළමු පන්දුවටම දැවැන්ත හයේ පහරක් එල්ල කළා.

ඉන්පසු දැඩි පීඩනයට ලක්වූ අර්ෂ්දීප්, ‘Wide’ පන්දු 7ක් යැවූ අතර, මුළු පන්දුවාරය තුළම ඔහු විසින් යවන ලද මුළු පන්දු සංඛ්‍යාව 13ක්.

මෙම තනි පන්දුවාරය තුළදී දකුණු අප්‍රිකාවට ලකුණු 18ක් ලබා ගැනීමට හැකි වූවා.

ICC හි පූර්ණ සාමාජික රටවල් අතර T20I තරගයකදී තනි පන්දුවාරයකට යවන ලද වැඩිම පන්දු සංඛ්‍යාව (13) පිළිබඳ ඇෆ්ගනිස්ථානයේ නවීන්-උල්-හක් පිහිටුවා තිබූ වාර්තාවට සම කිරීමට අර්ෂ්දීප් සිංට සිදුවී තිබෙනවා.

මීට අමතරව, T20I ඉතිහාසයේ ඉන්දියානු පන්දු යවන්නෙකු යවන ලද දිගම පන්දුවාරය ලෙසද මෙය සනිටුහන් වූවා.

අර්ෂ්දීප් සිංගේ පන්දු යැවීමේ පාලනය සම්පූර්ණයෙන්ම ගිලිහී යාම හමුවේ ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ගෞතම් ගම්බීර් දැඩි කෝපයකින් පසුවන ආකාරය කැමරා කාචයේ සටහන්ව තිබෙනවා.

ගම්බීර් කෝපයෙන් ප්‍රතිචාර දක්වන වීඩියෝ සහ ඡායාරූප මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සීඝ්‍රයෙන් පැතිර යමින් පවතිනවා.

මෙම තරගයේදී දකුණු අප්‍රිකාව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් ඉන්දියාවට අභියෝගාත්මක ලකුණු 213ක් රැස් කළා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *