කපිල චන්ද්‍රසේනගේ නිවසේත් සීසීටීවී දත්ත ගබඩා වී නෑ..

මරණයට පත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේනගේ නිවසේ ද සිසිටිවි පද්ධතිය ක්‍රියාත්මක වුවද එම දත්ත ගබඩා නොවි තිබූ බව කොළඹ අපරාධ කොට්ඨාශය අද (19)කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ දැන්වූවා.

සිද්ධියට අදාලව කපිල චන්ද්‍රසේන මියගිය ස්ථානයේ සහ ඔහු ජීවත් වූ නිවස ආශ්‍රිතව සීසීටීවි දර්ශන පිළිබඳ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාශය මේ බව දන්වා සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කර සිටියේ මරණකරු මියගොස් සිටි හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ නිවෙසේ ක්‍රියාත්මක වූ සීසිටීවී පද්ධතිය සහ මරණකරුගේ නිවසේ තිබූ සිසිටීවී පද්ධතිය ක්‍රියාත්මක වුවද එහි දත්ත ගබඩා වීමක් සිදු වී නොමැති බවයි.

ඒ අනුව සිද්ධියට අදාලව එම සීසිටීවී පද්ධති දෙකෙහි ඩි.වි.ආර් යන්ත්‍ර නඩු භාණ්ඩ ලෙස අද (19) දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැන්වුවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාශය මෙලෙස සඳහන් කළා.

” ස්වාමීනි, කපිල චන්ද්‍රසේන මියගිය ස්ථානයට ප්‍රවේශවීමට තිබූ දොරටු සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලදී අනාවරණය වුණා, එම නිවෙසට ඇතුලු වීමට තවත් පාරවල් දෙකක් තිබූ බව. එනම් අරවින්ද ද සිල්වාගේ නිවෙසේ බිම් මහලෙන් එම නිවෙස ඇතුළට යාමට පුළුවන්. ඔවුන් වාහන ගාල් කරන්නේ පහළ බින් මහලේ ස්ථාන දෙකකින් ද එම නිවෙස ඇතුළට යෑමට හැකි බව විමර්ශනවලදී අනාවරණය වුණා. ඒත්, 2026/5/5 සිට 2026/ 5/7 දින දක්වා එහි කිසිදු පුද්ගලයෙක් ගිය බවට තොරතුරු අනාවරණය වන්නේ නැහැ.
ස්වාමීනි, මෙම සිද්ධියට අදාල ඩි.වි.ආර් යන්ත්‍ර 2ක රස පරීක්ෂණ යොමු කිරීමට නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.

එසේම මරණකරු මියයාමට පෙර සම්බන්ධ වූ දුරකථන දත්ත වාර්තා ලබා ගැනීමට නියෝගයක් ලබා දුන්නද එම කාලයේ ප්‍රමාණවත් නොවන බැවින් තවත් කාලයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා ඒ සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශයක්ද ඉදිරිපත් කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වුවා.

එසේම මෙම සිද්ධියට අදාලව සිසිටීවී පද්ධතිය දත්ත ගබඩා නොවීම සම්බන්ධයෙන් එම පද්ධතිය සවිකරන ලද ඉංජිනේරුවරයා සාක්ෂි ලබාදීමේ සඳහා අද අධිකරණයට පැමිණ සිටින බව කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැන්වුවා.

එම අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ මෙම සාක්ෂිකරුවන්ට අමතරව කපිල චන්ද්‍රසේනට ඇප ලබා දීම සම්බන්ධයෙන් එදින නීතිඥවරයා හමුවීමට ගිය ඇපකරුවන් සාක්ෂිකරුවන් ලෙස නම් කර ඇතිද යන්නයි.

එම අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කර සිටියේ ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නොහැකි අතර, ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කරන බවත් මේවන විටත් එම ඇපකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් යන්නයි.

එහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ තමාගෙන් නියෝගයක් ලබා ගෙන එම සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හැකියාව තිබෙන බවයි.

කොළඹ අපරාධ කොට්ඨාශය මෝසමක් මාර්ගයෙන් එම සැකකරුවන් සම්බන්ධයෙන් අධිකරණයට දන්වා සිටින බව මෙහිදී දැනුම් දුන්නා.

මරණ පරීක්ෂණයට අදාළ සාක්ෂි විභාගය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (19) කැදවීමට නියමිතයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *