ප්‍රසාද් සිරිවර්ධන කුමාර ජයකොඩිගේ නිකැළැල් චරිතය කෙලෙසලා..

තමන්ට එරෙහිව ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී පදනම් විරහිත චෝදනා එල්ල කරමින් කීර්ති නාමයට හානි කළ බව පවසමින්, හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් ප්‍රසාද් සිරිවර්ධන මහතා වෙත එන්තරවාසියක් යොමු කර තිබෙනවා.

නීතිඥ සම්පත් යාලේවත්ත මහතා මඟින් එවන ලද ලිපියකින් මෙම එන්තරවාසිය යොමු කර ඇති අතර, ඒ හරහා රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ඉල්ලා ඇති බව සඳහන්.

අදාළ එන්තරවාසියට අනුව, පසුගිය මාර්තු 22 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රසාද් සිරිවර්ධන මහතා විසින් හිටපු අමාත්‍යවරයා මූල්‍ය අවභාවිතයන්ට සම්බන්ධ බවට ප්‍රකාශ කර තිබෙනවා.

මෙම ප්‍රකාශයන් සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත්, එමගින් කුමාර ජයකොඩි මහතාගේ වෘත්තීය ප්‍රතිරූපයට මෙන්ම ඔහු නියෝජනය කරන ජාතික ජන බලවේගයේ කීර්ති නාමයට දැඩි ලෙස හානි සිදුව ඇති බවත් එම එන්තරවාසිය මගින් පෙන්වාදෙනවා.

එමෙන්ම එහි සඳහන්ව ඇත්තේ, වසර 30කට අධික විධායක පළපුරුද්දක් සහිත වෘත්තීය ඉංජිනේරුවරයෙකු වන කුමාර ජයකොඩි මහතා, සිය දේශපාලන ජීවිතය තුළ නිකැළැල් චරිතයක් සහිත පුද්ගලයෙකු බවයි.

 විශේෂයෙන්ම ගල් අඟුරු ආනයනයට අදාළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ පරීක්ෂණ කටයුතුවලට ස්වාධීනව ඉඩ සැලසීම සඳහා ඔහු ස්වේච්ඡාවෙන් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ බවද එමගින් සඳහන් කර තිබෙනවා.

කෙසේවෙතත් සිදු වූ අපහාසය වෙනුවෙන් ඉල්ලා ඇති රුපියල් මිලියන 500ක මුදල දින 14ක් ඇතුළත ගෙවන ලෙස ප්‍රසාද් සිරිවර්ධන මහතාට දන්වා තිබෙනවා.

යම් හෙයකින් නියමිත කාලය තුළ අදාළ වන්දි මුදල ගෙවීමට අපොහොසත් වුවහොත්, නීත්‍යානුකූල පොලිය සහ නඩු ගාස්තුද සහිතව එය අය කර ගැනීම සඳහා අධිකරණය හමුවේ නඩු පවරන බව හිටපු අමාත්‍යවරයාගේ නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *