වෛද්‍ය සාෆිට එරෙහි කුමන්ත්‍රණයේ පසුපස කතාව

මාසයකට අධික කාලයක් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉන් වසර හතකට පසු 2026 වසරේ පෙබරවාරි මාසයේ එක්තරා උදෑසනක වෛද්‍ය සේගු ශිහබ්දීන් මොහොමඩ් සාෆි පියමං කළේය. ඒ, තමන්ට එරෙහිව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කර, සිරගත කරමින්, රට තුළ බරපතල ලෙස ජාතිවාදය වැපිරීමට මුල් වූ පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ලිපියක් බාරදීමටය. ඔහු මීට පෙර 2024 වසරේ නොවැම්බර් 08 වැනිදා ද මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න මහතා වෙත මේ සම්බන්ධයෙන් විධිමත් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. එහෙත් එම පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රමාණවත් විමර්ශනයක් සිදු නොවීම හේතුවෙන් යළිත් වරක් මෙලෙස යුක්තිය පතා විමර්ශන ආයතන වෙත යාමට වෛද්‍ය සාෆියට සිදුව තිබේ. වෛද්‍ය සාෆි පවසන්නේ තමන් වෙනුවෙන් පමණක් නොව, අනාගතයේදී තවත් අයෙකුට මෙවැනි අසාධාරණයක් සිදු නොවනු පිණිස මෙම පැමිණිලි සිදු කර යුක්තිය බලාපොරොත්තු වූ බවයි.

සේගු ශිහබ්දීන් මොහොමඩ් සාෆි යනු අනුරාධපුර, කලාවැව ගම්මානයේ උපත ලැබූවෙකි,. ඔහු සිය ප්‍රාථමික අධ්‍යාපනය කලාවැව මධ්‍ය විද්‍යාලයෙන් ලබාගත් අතර, උසස් පෙළ හැදෑරීම සඳහා ගම්පොළ සහිරා විද්‍යාලයට ඇතුළත් විය,. 1995 වසරේදී උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වූ ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට තේරී පත් විය. වෛද්‍යවරයකු ලෙස 2005 වසරේ අගෝස්තු 10 වැනිදා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාගත් ඔහු, රජයේ රෝහල් කිහිපයකම සීමාවාසික, වෛද්‍ය නිලධාරී සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයකු ලෙස සේවය කර තිබේ. කුරුණෑගල ශික්ෂණ රෝහල, ගලේවෙල දිස්ත්‍රික් රෝහල සහ දඹුල්ල මූලික රෝහල යන ස්ථානවල ඔහු වෘත්තීය ජීවිතයේ වැඩි කාලයක් ගත කළේය.

වෛද්‍ය සාෆිගේ බිරිඳ වෛද්‍යවරියකි. මෙම අඹුසැමි යුවළට දරුවෝ දෙදෙනෙක් සිටිති. වෛද්‍ය වෘත්තියට අමතරව සාෆි මහතා සිය පියා සහ ඉන්දියානු ජාතිකයකු සමඟ එක්ව කුරුණෑගල-කොළඹ පාරේ පෞද්ගලික වෛද්‍ය රසායනාගාරයක් පවත්වාගෙන ගියේය.

දේශපාලන ක්ෂේත්‍රයට ද යම් නැඹුරුවක් දැක්වූ ඔහු, 2015 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග වැදුණි. එහිදී මනාප ඡන්ද 54,000ක් ලබාගැනීමට ඔහු සමත් වුවද, පක්ෂයට හිමිවූ ආසන සංඛ්‍යාව මත ඔහුට පාර්ලිමේන්තුවට යාමට අවස්ථාව හිමි නොවීය. ඔහුගේ මැතිවරණ වේදිකාවේ ප්‍රධාන සටන් පාඨයක් වූයේ ජාතිවාදී දේශපාලනය පරාජය කළ යුතු බවයි. පසුව ඔහු නැවතත් පූර්ණකාලීනව වෛද්‍ය සේවයට එක්වූ අතර, 2017 වසරේදී කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද අංශයේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයා ලෙස පත්වීම් ලැබීය. වෛද්‍ය සාෆි ඇතුළු හවුල්කරුවන් කිහිප දෙනෙකු රුපියල් කෝටි 13කට කුරුණෑගල නගරයේ ඉඩමක් මිලදී ගැනීම ප්‍රදේශයේ ඇතැම් ව්‍යාපාරිකයන්ගේ ඊර්ෂ්‍යාවට හේතු වී තිබිණි.

2019 මැයි මාසය වන විට ශ්‍රී ලංකාව පැවතියේ අතිශය සංවේදී මෙන්ම බියකරු වාතාවරණයකි. 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදා දිනයේ දී එල්ල කෙරුණු ත්‍රස්ථ ප්‍රහාරයෙන් පසු මුළු රටම භීතියෙන් සහ අවිශ්වාසයෙන් වෙළී තිබිණි. ඉස්ලාම් අන්තවාදය කෙරෙහි ඇති වූ ජනතා කෝපය, සමස්ත මුස්ලිම් ප්‍රජාව කෙරෙහි සැකසහිත බැල්මක් හෙළීමට ඇතැම් පිරිස් විසින් පොළඹවනු ලැබීය. මෙම තත්ත්වය දේශපාලන වාසි වෙනුවෙන් භාවිත කිරීමට ඇතැම් කණ්ඩායම් කටයුතු කටයුතු කළේය. කිසිදු අන්තවාදී ක්‍රියාවකට සම්බන්ධ නොවූ පුද්ගලයන් පවා අත්අඩංගුවට ගත් අතර ඒවා ජනමාධ්‍ය හරහා උලුප්පා දක්වමින් තමන්ගේ හැකියාව පෙන්වීමට ඇතැම් පොලිස් ප්‍රධානීහු උත්සාහ කළහ.

මෙම සමාජ පසුබිම වෛද්‍ය සාෆිට එරෙහි කුමන්ත්‍රණය සඳහා මනා පිටිවහලක් විය. 2019 මැයි 23 වැනිදා ‘දිවයින’ පුවත්පතේ ප්‍රධාන පුවතින් රටම ගිනියම් විය. ‘තවුහිත් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් වඳකරලා – සාක්කි සහිතව තොරතුරු හෙළිදරව් වෙයි – දොස්තර අල්ලන්න පුළුල් පරීක්ෂණ’ යනු එම පුවතේ ශීර්ෂයයි. මෙහිදී වෛද්‍යවරයාගේ නම සඳහන් නොවූවත් ‘තවුහිත් ජමාත්’ යන්න භාවිත කිරීම හරහා ඔහු සහරාන් හෂීම්ගේ කණ්ඩායමට සම්බන්ධ බවට වක්‍රව ඇඟවීය. එහෙත් එවකට පොලිස් මාධ්‍ය ප්‍රකාශක  රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ එවැනි පරීක්ෂණයක් ගැන තමන් නොදන්නා බවයි.

සැබවින්ම වෛද්‍ය සාෆි අත්අඩංගුවට ගැනීමට කුමන්ත්‍රණය ආරම්භ වී තිබුණේ ඊට බොහෝ කලකට පෙර සිටය. 2019 මැයි 12 වැනිදා එවකට කුරුණෑගල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා විසින් DIG/KU/RIU/134/19 අංකයෙන් ලිපියක් යොමු කරමින් වෛද්‍ය සාෆි අන්තවාදී සංවිධානයකට සම්බන්ධ බවට තොරතුරු ඇතැයි පවසා විමර්ශනයක් ආරම්භ කරන ලෙස දැනුම් දී තිබුණි. 2019 මැයි 22 වැනිදා කුරුණෑගල පොලිසිය මහේස්ත්‍රාත් අධිකරණයට බී/1398/19 යටතේ වාර්තාවක් ඉදිරිපත් කළේය. එහි සඳහන් වූයේ විදේශීය රාජ්‍ය නොවන සංවිධානවලින් මුදල් ලබන වෛද්‍යවරයකු සම්බන්ධයෙන් කරන විමර්ශනයකට අදාලව ඔහුගේ ගිනුම් පරීක්ෂා කිරීමට නියෝගයක් ලබා දෙන ලෙසයි. ඒ වන විට වෛද්‍යවරයාට එරෙහිව කිසිදු පැමිණිල්ලක් ලැබී නොතිබිණි. ‘සාක්කි සහිතව තොරතුරු හෙළිදරව් වෙයි – දොස්තර අල්ලන්න පුළුල් පරීක්ෂණ’ ලෙස දිවයින පුවත්පතේ දක්වා තිබුණද පුවත පල වන අවස්ථාව වන විට වෛද්‍යවරයාට එරෙහිව එකදු ප්‍රකාශයක්වත් සටහන් කරගෙන නොතිබිණි.

පුවත්පතේ ලිපිය පලවීමෙන් පසු ඒ ගැන විමර්ශනයක් කරන ලෙස පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දීමෙන් පසු මූලික තොරතුරු ලබා ගැනීම සඳහා ප්‍රකාශයක් සටහන් කිරීමට ප්‍රවෘත්තිය ලියූ මාධ්‍යවේදියා කැඳවීය. මාධ්‍යවේදියා ගොස් ප්‍රකාශය ලබාදීමට පෙ දින රාත්‍රී කුරුණෑගල පොලිසිය විසින් වෛද්‍ය සාෆි අත්අඩංගුවට ගනු ලැබීය. පසුව පොලිස්පති නියමයෙන් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර කෙරුණු අතර ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ  ලබා ගත් රැඳවුම් නියෝග මත විමර්ශන ආරම්භ විය. වෛද්‍යවරයා එරෙහි විමර්ශනයේදී සොයා ගත් වූ කරුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කළ අතර ඒ මගින් අනාවරණය වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට කිසිම සාක්කියක් තිබී නැති බවයි. පසුව ඔහු අත්අඩංගුවට ගැනීම සාධාරණීකරණය කිරීම සඳහා ප්‍රකාශ 10ක් පෙරදාතම කර සටහන් කරගෙන ඇතැයි ද අධිකරණයට වාර්තා කළේය.

මෙම සිදුවීමේදී ජනමාධ්‍යයේ සහ දේශපාලනඥයන්ගේ හැසිරීම අතිශය බරපතල විය. කුරුණෑගල රෝහලේ එවකට අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් වෛද්‍ය සාෆිට එරෙහිව පැමිණිලි කරන ලෙස මව්වරුන්ට බලපෑම් කළේය. රෝහල් හෙදියන්ට පවා බලපෑම් කරමින් සාෆිට එරෙහිව ප්‍රකාශ ලබාදෙන ලෙස ඔහු දැනුම් දුන් බව පසුව හෙළි විය. ඇතැම් රූපවාහිනී නාලිකා මෙම සිදුවීම දිනපතා ජාතිවාදී හැඟීම් අවුස්සන ආකාරයට විකාශය කළේය. මෙම මාධ්‍ය මෙහෙයුම කෙතරම් ප්‍රබලද යත්, වෛද්‍ය විද්‍යාත්මකව කළ නොහැකි දේවල් පවා ජනතාව විශ්වාස කරන තැනට පත් විය.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රැඳවා තබා ගනිමින් කළ විමර්ශනවලින් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කළේ වෛද්‍ය සාෆි කිසිදු ත්‍රස්ත කණ්ඩායමකට සම්බන්ධ නොමැති බවත්, ඔහු සැකකටයුතු ලෙස වන්ධ්‍යාකරණ සැත්කම් සිදු කළ බවට සාක්ෂි නොමැති බවත්ය. රෝහල් දත්තවලට අනුව ඔහු සිදු කළ සිසේරියන් සැත්කම් ප්‍රමාණය 4,372ක් වූ අතර එය ‘දිවයින’ පුවත්පතේ පෙන්වූ අතිශයෝක්ති අගයන්ට වඩා හාත්පසින්ම වෙනස් විය. දේශපාලනඥයෝ සහ ඇතැම් භික්ෂූන් වහන්සේලා රෝහල් භූමියට සට අධිකරණ භූමියට පැමිණ මෙම අර්බුදය තවදුරටත් උත්සන්න කළහ.

ජනමාධ්‍ය මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස වෛද්‍ය සාෆට එරෙහිව පැමිණිලි මව්වරුන්ගෙන් 130 දෙනකු පමණ 2022 වසර මැද වන නැවත ගැබ්ගැනීම සිදුවූ අතර 2024 වන විට එය තවත් බොහෝ දුරට වැඩිවී තිබිණි.    

2024 වසරේ සිදුවූ ආණ්ඩු මාරුවත් සමඟ වෛද්‍ය සාෆි යුක්තිය පතා ආයතනවලට ගියහ. ඔහු සහ බිරිඳ ඊට පෙර එනම් 2019 වසරේදීම කුරුණෑගල රෝහලේ අධයක්ෂ සරත් වීරබණ්ඩාර, නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්දන කැඳන්ගමුව, කුරුනෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, කුරුණෑගල පොලිස් අධිකාරී මහින්ද දිසානයක සහ චන්න ජයසුමන අය පිරිසට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිලි කර තිබිණි. එම පැමිණිලි ගැන විමර්ශනයක් සිදු නොවීය. වෛද්‍යවරයා 2024 නොවැම්බර් 08 වැනිදා මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණිල්ලක් කරමින් ඉල්ලා සිටියේ තමන්ට එරෙහිව ව්‍යාජ ලේඛන සකස් කළ සහ කුමන්ත්‍රණය කළ නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා ලෙසයි. මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා මෙම පැමිණිල්ල පොලිස්පති වෙත යොමු කරන ලදී. කෙසේ වෙතත් විමර්ශනයක් ආරම්භ නොකරම එම පැමිණිල්ල නීතිපති වෙත යොමු කිරීමට උපදෙස් ලැබී තිබිණි. වසරකුත් මාස ගණනක් ගියද විමර්ශනයක් නැති හෙයින් වෛද්‍ය සාෆි යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේය.

වෛද්‍ය සාෆි අත්අඩංගුවට ගැනීමට පෙරමුණ ගත් පොලිස් අධිකාරී මහින්ද දිසානායක පසුව නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙසත්, නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙසත් උසස්වීම් ලැබූහ. ඔවුන්ට එරෙහිව විනය පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබුණ ද, ඒවා ක්‍රියාත්මක නොවූ අතර ඔවුන්ට යම් ආකාරයක මුක්තියක් පමණක් ලැබී ඇති බව පෙණිනි.  

අවසාන වශයෙන්, වෛද්‍ය සාෆිගේ පවුලට විඳින්නට වූ ඛේදවාචකය අතිමහත්ය. ඔහුගේ වැඩිමහල් දියණිය සයිනබ්ට සිය අධ්‍යාපන කටයුතු කරගෙන යාමට නොහැකි තරම් මානසික පීඩනයක් එල්ල විය. ඇය පවා ජාතිවාදී ප්‍රහාරයන්ට ලක්වූ අතර, පවුලට කාලයක් සැඟවී ජීවත් වීමට සිදු විය. දියණියට අවස්ථා පහකදී පාසල් මාරු කිරීමට සිදුවිය. මෙවැනි සිදුවීමක් නැවත කිසිදු පුරවැසියෙකුට සිදු නොවීමට නම්, ශ්‍රී ලංකාව තුළ ස්වාධීන සහ වගවීමක් සහිත මාධ්‍ය සංස්කෘතියක් මෙන්ම, දේශපාලන මැදිහත්වීම්වලින් තොර අපරාධ විමර්ශන පද්ධතියක් ස්ථාපිත කළ යුතුය. මාධ්‍ය ආයතන සිය ආචාරධර්ම කඩ කිරීම සම්බන්ධයෙන් වගවිය යුතු යාන්ත්‍රණයක් අත්‍යවශ්‍ය වේ.

වෛද්‍ය සාෆිගේ නඩුව යනු පුද්ගලයෙකුට එරෙහිව සිදු කළ අසාධාරණයක් පමණක් නොව, එය රටක සමස්ත යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියටම එල්ල වූ කළු පැල්ලමකි. වසර 07ක් ගතවී ඇතත් තවම යුක්තිය නොලැබුණු සංවිධානාත්මක අපරාධයකි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *