ජාතික ජන බලවේගය වෙත ඡන්දය ලබා දුන් ජනතාවගෙන් කොටසක් විවිධ හේතු මත ආණ්ඩුවෙන් ඈත් වෙමින් සිටින බවත්, එසේම මීට පෙර ඡන්දය නොදුන් කොටසක් ආණ්ඩුවට එකතු වෙමින් සිටින බවත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (09) මහනුවරදී මාධ්‍ය නැගූ, ආණ්ඩුව කෙරෙහි පවතින වර්තමාන ජනප්‍රියත්වය පිළිබඳ කළ විමසීමකට පිළිතුරු දෙමිනි.
ආණ්ඩුව කෙරෙහි පවතින ආකර්ෂණය නැතිවීමට හේතු පැහැදිලි කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, එය අනවබෝධයන් මත සිදුවිය හැකි බව සඳහන් කළේය.
එමෙන්ම, පෞද්ගලික අභිමතාර්ථ මුදුන්පත් කරගැනීමේ අපේක්ෂාවෙන් ආණ්ඩුව සමග සම්බන්ධ වූ පුද්ගලයින්, එම පෞද්ගලික අරමුණු වෙනුවට ආණ්ඩුව ‘පොදු අභිමතාර්ථ’ සමගින් ඉදිරියට යන බව දැනෙන විට ඈත් වීමට ඉඩ ඇති බව ද ඔහු පැවසීය.
කෙසේවෙතත්, ආණ්ඩුව සම්බන්ධයෙන් සැකයෙන් සිටි සහ විපක්ෂයේ බොරු මතවාද හේතුවෙන් භීතියට පත්ව සිටි ජනතාව දැන් ඇත්ත ඇති සැටියෙන් දකින බව නියෝජ්‍ය ඇමතිවරයා පෙන්වා දුන්නේය.
“දළදා මාළිගාවත් ඉවරයි කිව්වා, දළදා පෙරහැරත් ඉවරයි කිව්වා.”
“පන්සල් පල්ලි ඉවරයි කිව්වා.”
“වාහන දෙකක් තියෙනවා නම් එකක් ගන්නවායි කිව්වා.”
“මේක අමු කනත්තක් වෙනවා කිව්වා.”
මෙම බොරු මතවාදයන්ට රැවටුණු ජනතාව දැන් ‘මාලිමාවේ’ ආණ්ඩුව සමග සම්බන්ධ වන බවත්, එම නිසා කොටසක් ඉවත් වෙද්දී, කොටසක් අලුතින් එකතු වන සංසිද්ධියක් පවතින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.



