ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සිය දිවි නසා ගැනීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පැවසුවේ කොල්ලුපිටිය පේද්‍රිස් පෙදෙසේ අංක 38 දරන නිවසේදී ගෙල වැළලාගෙන සියදිවි නසා ගෙන සිටියදී ඔහුගේ සිරුර හමුවූ බවය.
කපිල චන්ද්‍රසේන මහතා ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් වන නඩුවට අදාළව ඇප ලබා මුදාහැර සිටියේය.
කෙසේ නමුත් අධිකරණයේ විශ්වාසය කැඩූ බවට චෝදනා එල්ල වී ඔහුව යළි අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් ඊයේ (7) නියෝගයක් නිකුත් කර තිබුණි.
කපිල චන්ද්‍රසේන මහතාට ඇප තැබීමට ඉදිරිපත් වූ පුද්ගලයන් දෙදෙනා රුපියල් 15,000 ක මුදලකට පෙනී සිටි කුලී ඇපකරුවන් බවට ඊයේ දිනයේ අධිකරණය හමුවේ අනාවරණය වුණා.
ඔවුන් සැකකරු හඳුනන්නේවත් නොමැති බවත්, ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඇති බවත් අනාවරණය වීමත් සමඟ අධිකරණය එම ඇපකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර කපිල චන්ද්‍රසේන මහතාට යළි වරෙන්තු නිකුත් කළා.
2013 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා එයාර් බස් යානා 14ක් මිලදී ගැනීමේ ගනුදෙනුවේදී සිදුවූවා යැයි කියන අතිවිශාල මූල්‍ය වංචාව සම්බන්ධයෙන් කපිල චන්ද්‍රසේන මහතාට සහ ඔහුගේ බිරිඳට එරෙහිව අල්ලස් කොමිසම මගින් නඩු පවරා තිබුණා.
මෙම ගනුදෙනුවේදී අල්ලස් මුදල් ඕස්ට්‍රේලියාවේ බැංකු ගිණුමකට බැර කර ඇති බවට ජාත්‍යන්තර පරීක්ෂණවලදීද තොරතුරු හෙළි වී තිබුණා.



