ශානිලා දුන්නේ බොරු සාක්ෂිද? මනෝජ් ගමගේ කියන කතාව

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ ‘මහ මොළකරුවෙකු’ සිටින බවට සමාජය හමුවේ මතු කරන කතාව, මෙරට ජනතාව රැවටීම සඳහා දියත් කර ඇති තනිකරම බොරු උගුලක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසනවා.

මාධ්‍ය නාලිකාවක පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු අවධාරණය කළේ, ඇමරිකාවේ FBI ආයතනය, ඉන්දියාවේ ‘රෝ’ සංවිධානය වැනි ලොව ඉහළම තාක්ෂණික හා බුද්ධිමය හැකියාවන් සහිත ජාත්‍යන්තර ආයතන සිදුකළ පුළුල් පරීක්ෂණ මඟින් මෙම ප්‍රහාරය පිටුපස අයි.එස්.අයි.එස් (ISIS) සංවිධානය සිටින බවත්, ඔවුන් ඒ සඳහා මුදල් සැපයූ බවත් පැහැදිලිවම තහවුරු කර ඇති බවයි.

ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ඉහළ නිලධාරීන් කටයුතු කළ ආකාරය නීතිඥ මනෝජ් ගමගේ මහතා දැඩි විවේචනයට ලක් කළා.

“ප්‍රහාරය එල්ල වීමට පෙර දින, එනම් අප්‍රේල් 20 වැනිදා ඉන්දීය ‘රෝ’ සංවිධානය විසින් ‘හෙට උදෑසන ප්‍රහාරයක් එල්ල වන බවට’ නිශ්චිත බුද්ධි තොරතුරක් ලබා දී තිබුණා. එවකට CID භාරව සිටි රවී සෙනෙවිරත්න මහතාගේ මේසය උඩ එම තොරතුර තිබියදීත්, ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර ගත්තේ නැහැ. ප්‍රහාරයෙන් අහිංසක මිනිස්සු මියගියාට පස්සේ, අප්‍රේල් 22 වැනිදා තමයි එම ලිපිය ඉදිරි කටයුතු සඳහා යොමු කර තිබෙන්නේ. එහි නිල මුද්‍රාවෙන් ඒ බව පැහැදිලි වෙනවා.”

අඩුම තරමින් එම බුද්ධි තොරතුර ලැබුණු වහාම පල්ලි ඉදිරිපිටට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු බැගින් යොදවා පරීක්ෂණ මුරපොලවල් දැමුවේ නම්, ජීවිත 300කට අධික ප්‍රමාණයක් බේරා ගැනීමට හැකියාව තිබූ බවද ඔහු පෙන්වා දුන්නා.

සුරේෂ් සලේ මහතා ඇතුළු බුද්ධි අංශ විසින් සහරාන් හෂීම් සහ ඔහුගේ කල්ලිය පිළිබඳව සියලුම තොරතුරු ලබා දී තිබූ බවත්, වනාතවිල්ලුව ප්‍රදේශයේදී විශාල පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවූ අවස්ථාවේදී CID නිලධාරීන් කටයුතු කළ ආකාරය සැකසහිත බවත් මනෝජ් ගමගේ මහතා මෙහිදී අනාවරණය කළා.

වනාතවිල්ලුව සිදුවීමෙන් පසු CID නිලධාරීන් කුලියාපිටිය කැකුණගොල්ල ප්‍රදේශයට ගොස් සහරාන්ගේ බිරිඳ වන හාදියා සහ සාරා ජස්මින් සිටි ස්ථානයෙන් ප්‍රකාශයක් පමණක් ලබාගෙන ඔවුන්ව අත්අඩංගුවට නොගෙන අතහැර දමා පැමිණ ඇති බවත්, ඉන් පසුදිනම සහරාන් පැමිණ සාරා ජස්මින්ව රැගෙන ගොස් ඇති බවත් ඔහු සඳහන් කළා.

ත්‍රස්ත විමර්ශන අංශය (TID) මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී, CID නිලධාරියෙකු දුරකථනයෙන් අමතා “මෙය ඔබලාගේ පරීක්ෂණයක් නොවන බැවින් එතැනින් ඉවත් වන ලෙස” දන්වමින් එම අත්අඩංගුවට ගැනීමට බාධා කර ඇති බවටද ඔහු චෝදනා කළා.

බුද්ධි තොරතුරු මේසය මත තබාගෙන ප්‍රහාරය වළක්වා නොගත් පුද්ගලයන් ලවා වර්තමානය වන විට නැවත පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ පැවැත්වීම විහිළුවක් බවද ඔහු පැවසුවා.

දැනට දියත් කර ඇති මෙම සමස්ත ක්‍රියාවලියේ සැබෑ අරමුණ පාස්කු ප්‍රහාරයේ ‘මහ මොළකරුවෙකු’ සෙවීම නොව, ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ මොහොමඩ් ඊබ්‍රාහිම් බේරා ගැනීම බවද ඔහු කියා සිටියා.

මේ සඳහා බෝම්බ නිෂ්පාදනය කරමින් තිබූ ස්ථානවලටම ගොස්, කිසිදු පියවරක් නොගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හැරී ආ බවත්, එදා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ දිවුරුම් දී ප්‍රකාශ කළ කරුණු, අද ඔවුන් CIDයේ සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ පුටුවලට පත්වූ පසු වෙනස් වන්නේ කෙසේද යන බවත් ඔහු සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,

“මේ මිනිස්සු මරනවා කියලා බෝම්බ හදනකොට, ඒ බෝම්බ හදන තැනට ගිහිල්ලා හැරිලා ආපු CIDයේ ලොක්කන්ට කියනවා දැන් පරීක්ෂණ කරලා හොයන්නලු මහමොළකාරයා කවුද කියලා. අනිත් එක දැන් ශානි අබේසේකර මහත්මයත්, රවී සෙනෙවිරත්න මහත්මයත් පාස්තු කමිටුවට ගිහිල්ලා ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 3 දෙනෙක් ගාව දිවුරුම් දීල සාක්ෂි දීලා තියෙනවා. එතකොට දිවුරුම් දීපු සාක්ෂි වල කියලා තියෙනවා රීබ්‍රහිම් තමයි මේකට සම්පූර්ණයෙන් අරමුදල් සැපයුවේ කියලා. දැන් කොහොමද CID ලොක්කො වුනාම ඒ තොරතුරු වෙනස් වෙන්නේ? දිවුරුම් පිට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ගාව දීලා තියෙන්නේ එහෙනම් සාක්ෂිනේ.”

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *