මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ක් වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිදුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා මුදල් කාරක සභාවේ විශේෂ රැස්වීමක් හෙට (08) පැවැත්වීමට නියමිතයි.
ඊට අදාළ මුදල් අමාත්‍යාංශයේ වාර්තාව පසුගියදා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත ලැබී තිබුණා.
එම වාර්තාව මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වාගේ නිවසට එවනු ලැබු අවස්ථාවේදී ඔහු එය ප්‍රතික්ෂේප කර යළි හරවා යවා තිබුණා.
ඒ එම වාර්තාව තමන්ගේ නිවසට නොව පාර්ලිමේන්තුවට බාරදිය යුතු බව පවසමින්.
ඒ අනුව, හෙට මුදල් කාරක සභාව රැස්වන අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු සාකච්ඡා කිරීමට නියමිතයි.
මේ අතර, මහ බැංකුවෙන් ඩොලර් මිලියන 800 කට අධික මුදලක් රටින් පිට වී ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කල වාර්තාවේ සදහන්ව ඇති බවත් එවැනි විශාල මුදලක් පිට වූයේ නම් එය දැවැන්ත ප්‍රශ්නයක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.



